
රජය විසින් ඉදිරිපත් කර ඇති නව ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ (Protection of the State from Terrorism Bill – PSTA) ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය (Right to Life Human Rights Centre – R2L) විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
2026 ඔක්තෝබර් 16 වැනි දින SC/SD/136/2026 අංකය යටතේ ගොනු කරන ලද මෙම පෙත්සම, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානයේ විධායක අධ්යක්ෂ පිලිප් දිසානායක මහතා විසින් නීතිඥ සඳුනි රත්නායක මහත්මිය මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට හඳුන්වාදීමට යෝජිත මෙම නව පනත් කෙටුම්පත තුළ ද, පැරණි පනත යටතේ මානව හිමිකම් උල්ලංඝනයන්ට හේතු වූ බවට විවේචනයට ලක්ව ඇති ගැටලුකාරී විධිවිධාන අන්තර්ගත වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, පනත් කෙටුම්පතේ 3, 26, 27, 28, 29 සහ 40 යන වගන්ති මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කර තිබේ. ත්රස්තවාදය පිළිබඳ පුළුල් හා අපැහැදිලි නිර්වචනය, රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමට විධායකයට පැවරෙන බලතල, ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයේ බලතල සීමා කිරීම සහ නීතිඥ සහාය ලබාගැනීමට ඇති අයිතිය සීමා වීමේ අවදානම පිළිබඳව පෙත්සම මගින් අවධානය යොමු කර ඇත.
මෙවැනි විධිවිධාන මගින් පුද්ගල නිදහස, සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය, අදහස් ප්රකාශ කිරීමේ නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇති විය හැකි බව ද පෙත්සම්කරු සඳහන් කරයි. එමෙන්ම, යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ ද පෙත්සමට අදාළ කරගෙන තිබේ.
ඒ අනුව, අභියෝගයට ලක් කර ඇති විධිවිධාන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3, 4, 12, 13, 14 සහ 75 යන ව්යවස්ථාවන්ට අනනුකූල බවට තීරණය කරන ලෙසත්, පනත් කෙටුම්පත පවතින ස්වරූපයෙන් සම්මත කිරීම සඳහා ව්යවස්ථානුකූලව අවශ්ය විශේෂ පාර්ලිමේන්තු බහුතරය සහ/හෝ ජනමත විචාරණයක අනුමැතිය අවශ්ය බවට තීරණය කරන ලෙසත් පෙත්සම්කරු ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම නීතිමය ක්රියාමාර්ගය මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, අත්තනෝමතික රඳවා තබා ගැනීම් සහ වධහිංසාව වැළැක්වීම මෙන්ම නීතියේ ආධිපත්යය සහ ප්රජාතන්ත්රවාදී නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය අඛණ්ඩව සිදුකරන මැදිහත්වීම්වල තවත් පියවරකි.
