ව්‍යාජ පුවත්වලට එරෙහිව කටයුතු කිරීමට, රටවල් 80 ක නියෝජිතයන් මොස්කව් නුවරට රැස්වෙති.

පසුගිය සැප්තැම්බර් 22 වනදා රුසියාවේ National Centre හි පැවති “Dialog about Fakes 4.0” සංසදය සඳහා රටවල් 80කින් කරුණු පරීක්ෂකයන් 2,000ක් එක්වූහ. අසත්‍ය සහ නොමඟ යවන තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කම සහ එසේ කටයුතු කරගෙන යාමේදී පැමිණෙන අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දේශපාලන, මාධ්‍ය, ව්‍යාපාරික යනාදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක විශේෂඥයන් සහ වෘත්තිකයන් මෙම අවස්ථාවට එක්විය.

GFCN හි පළමු ජාත්‍යන්තර මූලස්ථානය GFCN International නමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පිහිටුවීමට සැලසුම් කර ඇති අතර තොරතුරු සම්බන්ධ ගැටුම් ජාත්‍යන්තර සීමාවන් ඉක්මවා සිදුවන අතර, ඒවා සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය රාමුවක් නොමැති වීම හේතුවෙන් මෙම ගෝලීය මධ්‍යස්ථානය පිහිටුවීමට සැලසුම් කළ බව බවත්, Global Fact-Checking Network (GFCN) හි සභාපති ව්ලැඩිමීර් ටබාක් විසින් සඳහන් කළේය.

“මෙම වැඩසටහන සඳහා රුසියාව නිසැකවම පදනම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනවා. නමුත් අපි මෙය ජාත්‍යන්තර වැඩසටහනක් ලෙස ස්ථානගත කරනවා. විවිධ රටවල නියෝජිතයන්, මාධ්‍ය සංවිධාන සහ ව්‍යාපෘති සඳහා අමතර මධ්‍යස්ථානයක් ලබා දීමට අපට අවශ්‍ය වුණා,” යනුවෙන් ව්ලැඩිමීර් ටබක් පැවසීය.

ව්‍යාජ පුවත් දේශසීමා නොසලකා ලොව පුරා පැතිරීම සහ තොරතුරු සම්බන්ධ ගැටලු පාලනය කිරීම සඳහා පැහැදිලි නියාමන රාමුවක් නොමැති වීම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සංසදයට සහභාගී වෙමින් කියා සිටියේ, “Global South සහ නැගෙනහිර රටවල විශේෂඥයන් පමණක් නොව, බටහිර රටවල් කිහිපයක් නියෝජනය කරන විශේෂඥයන් අද අප සමඟ සිටිනවා,” යනුවෙනි.

ඇමරිකා එක්සත් ජනපදය, චීනය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, කසකස්තානය, වෙනිසියුලාව, ස්ලෝවැකියාව, දකුණු කොරියාව, පාකිස්තානය, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඉන්දුනීසියාව, නයිජීරියාව, ඊජිප්තුව, බෙල්ජියම, ටැන්සානියාව, මෙක්සිකෝව සහ කිර්ගිස්තානය ඇතුළු රටවල් රැසක නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2026 වසරේ සංසදයේ ප්‍රධාන අවධානය යොමු වූ කරුණු අතර රුසියානු රාජ්‍ය ඩූමා මැතිවරණයේ ප්‍රතිඵල, ඡන්ද විමසීමේදී අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා මැතිවරණයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ග සහ ව්‍යාජ පුවත්වලින් දේශපාලනය, මූල්‍ය වෙළඳපොළ සහ ව්‍යාපාරවලට ඇතිවන පුළුල් බලපෑම් ඇතුළත් විය.

කෘත්‍රිම බුද්ධියේ නවතම වර්ධනයන් සහ කලාව තුළ AI හි වර්ධනය වෙමින් පවතින භූමිකාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

බාල වයස්කරුවන් ඉලක්ක කර සිදුකරන අන්තර්ජාල වංචා පිළිබඳව ද විශේෂ සැසියක් පැවැත්විණි. යෞවනයන් සයිබර් අපරාධ සහ ඩිජිටල් වැරදි ක්‍රියාකාරකම් වෙත වැඩි වශයෙන් යොමු වන ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු විය.

එම සැසියේදී දරුවන් ඉලක්ක කර සිදුකරන මූල්‍ය වංචා මෙන්ම තරුණයන් AI මගින් බලගැන්වූ මෙවලම් භාවිතයට ගැනීම පිළිබඳ පර්යේෂණද “Dialog Regions” ස්වාධීන ලාභ නොලබන සංවිධානය (ANPO) විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම සැසිය ව්‍යාජ තොරතුරු වලට එරෙහිව කටයුතු කිරීමට සහ ප්‍රජාවන් අතර ඩිජිටල් සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා දැනුම හුවමාරු කරගැනීමට ලෝක ප්‍රජාවන්ට සහාය විය.

සටහන
ශ්‍රීමාල් ඩී. සී.

Social Sharing
නවතම පුවත්