
මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය. පියෙකුට තම දරුවෙකුගේ උපන් දිනය සමරන දිනයේ, ඒ දරුවා තමන් අසල නොසිටීම තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිය හැකිදැයි මම නොදනිමි. විශේෂයෙන්ම, ඒ දරුවා තම ජීවිතය පුරාම ආදරය, කරුණාව සහ සංවේදීත්වය බෙදා දුන් දරුවෙකු නම්, ඇය ඉතිරි කළ හිස්තැන තවත් විශාලය.
කුඩා කල පටන්ම ඉන්දිරා අපේ පුංචි කැදැල්ල කරුණාවෙන්, දයාවෙන් සහ ආදරයෙන් පිරවූ ප්‍රේමණීය චරිතයක් වූවාය. ඇය මිනිසුන්ට පමණක් නොව, වචනවලින් තම වේදනාව කියාගත නොහැකි සතුන්ට පවා අසීමිතව ආදරය කළාය. පාරේ තනිව සිටින බල්ලෙකු හෝ පූසෙකු දුටුවොත් ඇය එතැනින් නිකම්ම ගමන් කළේ නැත. තුවාල වූ සතෙකු දුටුවොත් එය ඇගේ ප්‍රශ්නයක් විය. බඩගින්නේ සිටින සතෙකු දුටුවොත් ඇගේ හිතට සැනසීමක් නොතිබුණි. ඇය ඔවුන් ගෙදර ගෙන ආවාය. සුවපත් කළාය. කෑම දුන්නාය. ආදරය කළාය.
ඇයට ඔවුන් සතුන් පමණක් නොවීය. ඔවුන්ද ඇට, මස්, ලේ, නහරවලින් සැදුණු වේදනාව දැනෙන ජීවීන් බව ඇය විශ්වාස කළාය. ඒ තමයි මගේ දුව. ඇගේ හදවත ඉතා සංවේදී විය. අන් අය නොදකින දේවල් පවා ඇය දුටුවාය. අන් අයට නොදැනෙන අනෙකාගේ වේදනාව පවා ඇයට දැනුණි. කුඩා කල පටන් කලාවට ඇය තුළ තිබුණේ ගැඹුරු බැඳීමකි. ජාතිය, ආගම හෝ කුලය මත මිනිසුන්ගේ වටිනාකම මැනීම ඇය තරයේ බැහැර කළාය. මානව දයාවෙන් පිරුණු මිනිසුන් ඇය උසස් කොට සැලකුවාය.
ඇය අතිනත ගත්තේද සමාජ සේවා කටයුතුවල නිරත වූ කරුණාවන්ත හදවතක් තිබූ විදේශීය තරුණයෙකු සමඟිනි. ධර්මයටද ඇය ඉතා ලැදි වූවාය. කර්මය විශ්වාස කළ ඇය, ජීවිතයේ අප කරන සෑම ක්‍රියාවකටම අර්ථයක් ඇති බව විශ්වාස කළාය.ඇගේ ජීවිතයේ අවසාන පරිච්ඡේදය ගැන සිතන විට, අද මට වඩාත් පුදුමයක් ඇති කරන්නේ ඒ අවබෝධයයි.
මාතෘත්වයේ නාමයෙන් නූපන් ජීවිතයක් වෙනුවෙන් දිවි කැප කළාය
අභාග්‍යසම්පන්න ලෙස පිළිකා රෝගය වැළඳෙන විට පුංචි පුතු ඩිලන් ඇගේ කුස තුළ පිළිසිඳගෙන සිටියේය. වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ දරුවාට බලපෑමක් ඇති කළ හැකි විය. ඒ නිසා ඇය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කළාය.ඇයට ඇගේ ජීවිතයට වඩා කුස තුළ වැඩෙන, මෙලොව එළිය නුදුටු පුංචි පුතුගේ කිරි සිනහව දැකීම වැදගත් වූවා විය හැකිය. මව් සෙනෙහස අවදි වී, නූපන් ජීවිතයක් ජීවත් කරවීමේ ආශාව ඇය තුළ ජය ගත්තා විය හැකිය.
කෙසේ හෝ අවසානයේ ඇය තම පුංචි පුතු දෑසින් දකින්නට වාසනාවන්ත වූවාය. පසුව ප්‍රතිකාර ආරම්භ කළද, එය ටිකෙන් ටික අසාර්ථක වෙමින් පවතින බව දැනෙන විට පියෙකු ලෙස මගේ හදවතට දැනුණු බර වචනවලින් කියා නිම කළ නොහැකිය. එහෙත් ඒ බව දැන සිටියත් ඇය ජීවිතය අතහැර දැමුවේ නැත.
තමන්ගේ වේදනාව ගැන පමණක් සිතමින් ඇය ජීවත් වූයේ නැත. ඇය සිතුවේ තම දරුවන් සහ තම ස්වාමියා ගැනය. තමන්ගෙන් පසුව ඔවුන්ගේ ජීවිතය කෙසේ වේදැයි ඇය සිතුවාය. ඔවුන්ගේ අනාගතය සැලසුම් කළාය. ඒවා ලියා තැබුවාය. තමන් තවදුරටත් ඔවුන් සමඟ නොසිටින බව දැන සිටියත්, මවක් ලෙස තම වගකීම අවසන් මොහොත දක්වා ඉටු කිරීමට ඇය උත්සාහ කළාය. ඒ මගේ දුවගේ හදවතේ තිබූ ආදරයේ තරමයි.
මට තවමත් අමතක නොවන සිදුවීමක් තිබේ. වරෙක ලැබුණු ඇමතුමක් අදටත් මගේ හදවත වේදනාවෙන් බර කරයි. ඒ ඇගේ ජීවිතයේ අවසන් මොහොත ළඟා වී ඇති බව දැනුම් දුන් ඇමතුමයි. ඇගේ අවසන් දිනවල මම ඇය අසලින්ම සිටියෙමි. ඇගේ ශරීරය දුර්වල වෙමින් තිබුණි. එහෙත් ඇගේ සිතේ තිබුණේ තවමත් අන් අය ගැන සිතීමය. වෙවුලන දෙතොලින් “කේතලය, කේතලය”යැයි කියමින් ඇය එම මොහොතේ පැමිණි සහෝදරියට තේ එකක් බොන්නට ඇරයුම් කිරීමට උත්සාහ කළාය. මරණය අභිමුව සිටියදීත් සහෝදරියට තේ එකක් බොන්නට ඇරයුම් කරන ආදරණීය සොහොයුරියක්… ඒ මොහොත මම කවදාවත් අමතක නොකරමි.
අවසානයේ අපට එළඹුණේ කිසිම පියෙකු මුහුණ දීමට ප්‍රාර්ථනා නොකරන මොහොතකි. මම ඇගේ අත අල්ලාගෙනම සිටියෙමි. ඒ මගේ දියණියගේ අතයි. කුඩා කල ඇය පුංචි අතින් මගේ සුලැඟිල්ලේ එල්ලී ඇවිදින්නට උත්සාහ කළ අයුරුත්, පාරේ අසරණ පූසෙකු ගෙදර ගෙනැවිත් මගේ අතින් ඇදගෙන ගොස් පෙන්වූ අයුරුත්, අප විනෝදයෙන් සහ ආදරයෙන් ගත කළ කාලයත් රූපරාමු මෙන් එකින් එක මගේ මනස තුළ මැවෙන්නට විය. මගේ ලොකු දියණියද එතැන සිටියාය. ඇගේ දෑස කඳුලින් තෙත්ව තිබුණත්, වෛද්‍යවරියක වූ ඇය යම්තාක් දුරකට සන්සුන්ව සිටියාය. එහෙත් ඇය කිසිදා නොදුටු පීඩනයකින් සිටින බව මට පෙනුණි. ඇය තම නංගි දෙස බලා, මගේ දෙස බලා ඉතා වේදනාවෙන් මට මෙසේ කීවාය.
“තාත්තේ, දැන් නංගිට යන්න දෙන්න…”
මම ඒ වචන අසා සිටියෙමි. පියෙකුගේ හදවත තම දරුවා අතහැරීමට සූදානම් වන්නේ කෙසේද? මට ඒ අත අතහැරීමට අවශ්‍ය වූයේ නැත. කොහොම අතහරින්නද? අවුරුදු හතළිහක් මගේ ජීවිතයේ කොටසක් වූ මගේ දියණියගේ අතයි ඒ. නමුත් අවසානයේ මට ඒ අත අතහැරීමට සිදු විය. මම ඇගේ අත අතහැර දැමූ මොහොතේම ඇය මේ ලෝකයෙන් සමුගත්තාය. ඔයාගේ අත අතහැරිය ඒ මොහොතේ මම දැනගෙන හිටියේ නැහැ, ඒ අත නැවත කිසිදා අල්ලාගන්නට නොහැකි බව. අදත් මගේ දෑත් හිස්. ඒත් ඒ හිස් දෑත් තුළ ඔයාගේ මතකය, ඔයාගේ සිනහව, ඔයාගේ කරුණාව, ඔයාගේ අතේ උණුසුම මගේ මතකයෙන් කිසිදා ඉවත් වූයේ නැහැ. මට තව මොහොතක් ඔයාගේ අතින් අල්ලාගෙන සිටින්නට අවස්ථාව තිබුණේ නම්, ඔයාට ජීවත් වන්නට හැකිව තිබුණේ නම්, හැමදාමත් මම ඔයාගේ අත නොහැර සිටින්නට තිබුණා. නමුත් යථාර්ථය එය නොවන බව මම දනිමි.
මම ඇගේ අත අල්ලාගෙන සිටියෙමි. ඊළඟ මොහොතේ ඇය නොසිටියාය. මිනිසුන් කියන්නේ කාලය සියලු වේදනා සුව කරන බවය. නමුත් මම ඉගෙන ගත් දෙයක් තිබේ.
කාලය සමහර වේදනා සුව කරන්නේ නැත. කාලය අපට ඒ වේදනාව සමඟ ජීවත් වීමට පුරුදු කරයි. සුව අරණක් වූ ඇගේ සෙනෙහස
ඉන්දිරාගේ මතකය අදත් අපේ ගෙදර ජීවත් වෙයි. පාරේ යන විට අසරණ බල්ලෙකු හෝ පූසෙකු දුටු විට ඇය මට මතක් වෙයි. චිත්‍රයක් දකින විට, සංගීතයක් ඇසෙන විට, ඇය විශ්වාස කළ කර්මය ගැන සිතන විටත් ඇය මතක් වෙයි. එහෙත් ඉන්දිරා අපෙන් සමුගත්තේ ඇගේ වේදනාව පමණක් ඉතිරි කරමින් නොවේ. ඇය විඳි වේදනාව වෙනත් දරුවන්ගේ වේදනාව අඩු කිරීමේ මෙහෙවරක් බවට පත්විය.
තම දරුවෙකු පිළිකා රෝගයෙන් පීඩා විඳින විට, ඒ පවුලකට රෝගය සමඟ සටන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව අපට වැටහුණි. ඔවුන්ට තවත් බොහෝ දේ අවශ්‍යය.
ඒ අවබෝධයෙන් ඉන්දිරා පිළිකා භාරය බිහි විය.

ඒ ගමනේදී මගේ ආදරණීය ලොකු දියණිය ලංකා විශාල කැපකිරීමක් කළාය. කුඩා කඩ කාමරයකින් ආරම්භ වූ ඒ සේවය, දානපතියන්ගේ නොමඳ සහයෝගයත්, මිනිසුන්ගේ කරුණාවත් සමඟ කෙටි කාලයකදී රටේ පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන්ට සෙවණ දෙන “සුව අරණක්” බවට පත්විය.
තානාපති කාර්යාල සහ විවිධ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් සූර්ය බල පද්ධති ලබාදීමේ සිට අවශ්‍ය ගෘහ උපකරණ සපයා දීම දක්වා බොහෝ සේවා ඒ හරහා සිදු වෙයි.
සායන සහ අපේක්ෂා රෝහල වෙත යන එන රෝගීන්ට ගමන් වියදම් ලබාදීම, ආහාරපාන සහ අවශ්‍ය ඖෂධ සපයා දීම, රෝගියෙකු මියගිය පසු අවසන් කටයුතු සඳහා පවුලකට හැකියාවක් නොමැති අවස්ථාවල සහාය වීම, හිසකෙස් දන් දීමේ වැඩසටහන් හරහා රෝගී දරුවන්ගේ සිනහව නැවත ගෙන ඒමට උත්සාහ කිරීම, මාපිය-කැපකරු ක්‍රමය හරහා ඔවුන්ගේ අධ්‍යාපනයට අතදීම ඒ සේවයේ කොටස්ය.

සුව අරණ මගින් ප්‍රතිකාර ලබන දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා නවාතැන්, දෛනික ආහාර, සනීපාරක්ෂක පහසුකම් සහ මානසික සහනය ලබාදීමටද කටයුතු කරයි. රෝහල් හා සායන සමඟ සම්බන්ධීකරණය කරමින් ප්‍රතිකාර සඳහා අවශ්‍ය සහාය ලබාදෙයි. වෛද්‍ය උපකරණ, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයයි. දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ලබාදෙයි. පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, සෞඛ්‍ය පරීක්ෂණ සහ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් හරහා රෝගය පිළිබඳ අවබෝධය වැඩි කිරීමටත්, කල්තියා හඳුනාගැනීම දිරිමත් කිරීමටත් කටයුතු කරයි.
මේවා ලැයිස්තුවක සඳහන් කළ හැකි සේවාවන් පමණි. ඒ සෑම සේවාවක් පිටුපසම තිබෙන්නේ එකම අදහසකි.
“තමන් විඳි වේදනාව තවත් දරුවෙකුට තනිව විඳින්න ඉඩ නොදීම.” ඒ මෙහෙවරට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මගේ ලොකු දියණිය ලංකාය. ඇය වෛද්‍යවරියකි. එහෙත් ඇය මට වෛද්‍යවරියකට පළමුව මගේ දියණියකි. සමහර විට මම ඇය දෙස බලා සිටින විට මට ඉන්දිරාව පෙනෙන්නේ ඒ නිසා විය හැකිය. ඉන්දිරාට කරන්නට බැරි වූ දේවල් ඇගේ මතකය වෙනුවෙන් ලංකා දියණිය කරගෙන යයි. එක් දියණියක් අපෙන් සමුගෙන ගියත්, ඇගේ ආදරය තවත් දියණියකගේ දෑතින් අද දහස් ගණනක් වෙත ගලා යයි. ඒ ගැන පියෙකු ලෙස මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයකි. එහෙත් ඒ ආඩම්බරය තුළ වේදනාවක් ගැබ්ව තිබේ.
ඉන්දිරා පිළිකාභාරය නම් වූ ගසට මුල් වූයේ මගේ දියණියගේ වේදනාවයි.
මගේ ඉන්දිරාට…
අවුරුදු දහයක් ගතවුණත්, පියෙකුගේ හදවතේ දියණියකට තිබෙන තැනට කාලයට ළඟා විය නොහැකිය.
ඔබ අපෙන් සමුගත් දවසේ නතර වූයේ ඔබගේ හුස්ම පමණයි. ඔබගේ ආදරය නතර වූයේ නැහැ.
ඒ ආදරය අද සුව අරණක සෙවණක් වී තිබෙනවා. තවත් දරුවෙකුගේ මුහුණේ සිනහවක් වී තිබෙනවා. මවකගේ ඇසේ දැල්වුණු බලාපොරොත්තුවක් වී තිබෙනවා. අසරණ පවුලකට සවියක් වී තිබෙනවා.
ඒ නිසා දුවේ,
ඔබගේ ජීවිතය කෙටි වුණාට, ඔබගේ ආදරයට අවසානයක් තිබුණේ නැහැ. ඔබ අපෙන් සමුගත්තා. නමුත් අපේ හදවත්වලින් කිසිදා සමුගත්තේ නැහැ. මට තවමත් ඔබ මගේ බාල දියණියමයි.
ඔබ අප අතර සිටියා නම් වයස අවුරුදු 50ක්, අද මට ඔබගේ නළලත සිඹ සුබ පතන්නට තිබුණා. පවුලේ හැමෝම එකතු කරගෙන, පුංචි ඩිලන්, පුංචි තිළිණි එක්ක රෑ කෑම වේලක් කන්න තිබුණා. ඒත් අද මට කරන්නට ඉතිරිව ඇත්තේ මතකයන් අතරින් ඔබ සමඟ කතා කිරීම පමණයි.
දුවේ,
ඒ රුදුරු පිළිකාව ඔබගේ හුස්ම නතර කළාට, ඔබේ ආදරය මරා දැමීමට එයට බැරි වුණා. ඒත් මගේ හදවතින් ඔබට සමුදෙන්න මට කවදාවත් බැරි වුණා. අසරණ දරුවෙකුගේ කඳුළ නිවන කරුණාවන්ත අතක, මවකගේ බලාපොරොත්තුවක් තුළ, පියෙකුගේ නිහඬ වේදනාවකට ලැබෙන අස්වැසිල්ලක, තවත් ජීවිතයක් බේරාගැනීමට දිගු වන අතක, ඔබ අදත් ජීවත් වෙනවා.
ඒ නිසා,
සුබ උපන්දිනයක්, දියණියනි ඉන්දිරා.
ඔබ අපගෙන් සමුගත්තාට, මගේ හදවතින් කිසිදා සමුගත්තේ නැහැ.
ආදරණීය තාත්තා කරු ජයසූරිය
