සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන ජලභීතිකා රෝගය තුරන් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන ජලභීතිකා මර්දන නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සුනඛ ගහනය ක්‍රමානුකූලව පාලනය කිරීම සහ වාණිජ අභිජනනය නියාමනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් සකස් කළ නව පනත් කෙටුම්පත මේ වන විට අතිවිශේෂ ගැසට් පත්‍රයක් (අංක 2455/66) මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙමගින් දැනට ක්‍රියාත්මක පැරණි ජලභීතිකා ආඥාපනත සහ සුනඛ ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි වී නව නීතිමය රාමුවක් ස්ථාපිත කෙරෙනු ඇත.

නව පනත් කෙටුම්පතට ඇතුළත් ප්‍රධාන වශයෙන්

අනිවාර්ය එන්නත්කරණය සහ ලියාපදිංචිය: සති 06කට වැඩි වයසැති සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර, නියමිත ගාස්තුව ගෙවා අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. එන්නත් කිරීම රජයේ හෝ ලියාපදිංචි පශු වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු අතර, ඉන්පසු ලියාපදිංචි සහතිකය ලබාගත හැකිය.

රු. 2,000ක දඩයක්: බලයලත් නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින අවස්ථාවක එන්නත් හෝ ලියාපදිංචි සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වන හිමිකරුවන්ට දින 14ක සහන කාලයක් හිමිවේ. එම කාලය තුළ ද ලියාපදිංචි නොකරන පුද්ගලයින්ට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩයක් ගෙවීමට සිදුවනු ඇත.

අයාලේ යන සුනඛයින් පාලනය: තම බලප්‍රදේශය තුළ සිටින අයාලේ යන සුනඛයින් වන්ධ්‍යාකරණයට ලක් කිරීම සඳහා පියවර ගැනීමේ වගකීම අදාළ පළාත් පාලන ආයතන වෙත පවරා ඇත.

සුනඛ අභිජනන මධ්‍යස්ථාන නියාමනය: වාණිජ අරමුණු සඳහා සුනඛයන් බෝ කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ නම් පළාත් පාලන ආයතනයකින් නිල බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ. බලපත්‍රයක් නොමැතිව සුනඛ පැටවුන් අලෙවි කිරීම සපුරා තහනම් වන අතර, මෙය උල්ලංඝනය කිරීම රු. 10,000ක් දක්වා දඩයකට හෝ මාස 2ක සිරදඬුවමකට යටත් විය හැකි වරදකි.

මහමග දමා යාම දඬුවම් ලැබිය හැකි වරදක්: පොදු ස්ථානවල සුනඛයින් අතහැර දමා යාම සම්බන්ධයෙන් ද නීති දැඩි කර ඇති අතර, එය රු. 10,000ක් දක්වා දඩයකට හෝ මාස 3ක සිරදඬුවමකට, නැතහොත් එම දඬුවම් දෙකටම ලක්විය හැකි වරදක් ලෙස දක්වා තිබේ.

හානි සම්බන්ධයෙන් වගකීම: සුනඛයෙකු විසින් යම් පුද්ගලයෙකුට හෝ සත්වයෙකුට පහරදීමක් හෝ හානියක් සිදුකළහොත්, එහි පූර්ණ වගකීම හිමිකරු විසින් දැරිය යුතුය.

ජාතික සුනඛ සංගණනය: ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික සහ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමටත්, වසර 5කට වරක් දීපව්‍යාප්ත සුනඛ සංගණනයක් පැවැත්වීමටත් මින් යෝජනා කර ඇත. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය.

Social Sharing
නවතම පුවත්