
පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු මහතාගේ වාර්තාවේ සිංහල අනුවාදය පහත දැක්වේ. ඒ මහතා අවධාරණය කරන එක කරුණක් වන්නේ තීරණ වලට හේතු දැක්විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් කිවයුත්තේ මෑතක සිට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වන මුලික අයිතිවාසිකම් නඩු විභාග නොකර ප්‍රතික්ෂේප කිරීමේදී ප්‍රතික්ෂේප කිරීමට හේතු නොදක්වන බවට චෝදනාවක් තිබෙන බවයි.
CLA පුවත් / ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කෙරෙන නඩු කටයුතු නිරීක්ෂණය කිරීමට සහ අදාළ පාර්ශ්වයන් හමුවීමට පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරු (Steven Thiru) විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳ වාර්තාව
හැඳින්වීම
1. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (‘CLA’) මූලික අරමුණ වන්නේ, රජයේ අංශ තුන පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය (ලැටිමර් හවුස්) මූලධර්ම (2003) ඇතුළු විවිධ ප්‍රමිතීන්ට අනුකූලව, ස්වාධීන සහ කාර්යක්ෂම නීති වෘත්තියක් මගින් පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතාවට සේවය කිරීම සහතික කිරීම තුළින් සමස්ත පොදුරාජ්‍ය මණ්ඩලය තුළම නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමයි.
2. “ස්වාධීන, අපක්ෂපාතී, අවංක සහ නිපුණ අධිකරණ පද්ධතියක් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත්, මහජන විශ්වාසය ගොඩනැගීමටත්, යුක්තිය ඉටු කිරීමටත් අත්‍යවශ්‍ය වේ” යනුවෙන් ලැටිමර් හවුස් මූලධර්මවල සඳහන් වේ.
3. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත්, විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් CLA සතු කැපවීම තහවුරු කිරීම සඳහාත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුතු නිරීක්ෂණය කිරීමට සහ අදාළ පාර්ශ්වයන් හමුවීමට මම CLA වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමි.
4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තියට යෝජිත සංශෝධනය මගින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු හැට හතක් ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු හැට පහක් ලෙසත් නියම කරනු ලැබේ. අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් ගත් කල, අගවිනිසුරුවරයාට වයස අවුරුදු හැට හතක් සම්පූර්ණ වන දිනය හෝ අගවිනිසුරුවරයා ලෙස පත් වූ දිනයේ සිට වසර හයක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය විශ්‍රාම ගැනීමේ දිනය විය යුතු බවට ද මෙම යෝජිත සංශෝධනය මගින් තවදුරටත් විධිවිධාන සලසයි.
5. CLA හි සභාපතිවරයා වශයෙන් මෙම නඩු කටයුතු නිරීක්ෂණය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (‘BASL’) විසින් 2026 අගෝස්තු 31 දිනැති ලිපියක් මගින් කරන ලද ආරාධනයකට අනුව ද මෙම ශ්‍රී ලංකා සංචාරය සිදු කරන ලදී.
6. මෙම සංචාරය මගින්, අදාළ කාරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පිළිබඳ පුළුල් කරුණු පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ අරමුණින්, නීතිඥවරුන් ඇතුළු අදාළ පාර්ශ්වයන් සහ පාර්ශවකරුවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට CLA (Commonwealth Lawyers Association) වෙත අවස්ථාව ලැබුණි.
7. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන CLA කවුන්සිල සාමාජික, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මා සමඟ එක්ව සිටියේය. ඔහු දැක්වූ කාරුණික ආගන්තුක සත්කාරය වෙනුවෙන් මම ඔහුට කෘතඥ වන අතර, සංචාරය පුරාවටම ඔහු ලබා දුන් වටිනා සහාය වෙනුවෙන් ද ස්තූතිය පුද කරමි.
8. ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් පෙත්සම් 67ක් ගොනු කර තිබුණි. මෙම පෙත්සම්වල වගඋත්තරකරු වන්නේ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාය. පෙත්සම්වලට විරුද්ධව මැදිහත් වන පාර්ශ්ව (Interveners) 27 දෙනෙක් සිටිති.
9. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් බී. අබේකෝන් සහ කේ. එම්. ජී. එච්. කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කිරීම 2026 සැප්තැම්බර් 1 සහ 2 යන දිනවලදී සිදු විය.
10. 2026 සැප්තැම්බර් 1 වන දින පැවති නඩු විභාගයේ පළමු දිනයට සහභාගී වීමට මට නොහැකි විය. මම 2026 සැප්තැම්බර් 2 වන දින, එනම් දෙවන දිනයේ නඩු විභාගයට සහභාගී වීමි. මෙම නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සව ශාලාවේ (අංක 501 දරන අධිකරණ ශාලාවේ) පැවති අතර එය මහජනතාවට විවෘතව පැවතුණි.
11. අගවිනිසුරුතුමා මෙම නඩු කටයුතුවලින් ඉවත් විය යුතු බවටත්, පෙත්සම් විභාගය දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 17 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිසුරු මණ්ඩලයක් (full bench) මගින් සිදු කළ යුතු බවටත් BASL (ශ්‍රී ලංකා නීතිඥ සංගමය) විසින් යෝජනා (motions) ඉදිරිපත් කරන ලදී. එම යෝජනා 2026 සැප්තැම්බර් 1 වන දින අදාළ පස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙම කාරණය විභාග කිරීමට අධිකරණයට අධිකරණ බලය (jurisdiction) ඇති බව හැර, එම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට වෙනත් කිසිදු හේතුවක් දක්වා නොතිබූ බව මට දැනගන්නට ලැබුණි.
12. පෙත්සම් විභාගය 2026 සැප්තැම්බර් 1 වන දින පෙ.ව. 10.30 සිට රාත්‍රී 10.45 දක්වා ද, 2026 සැප්තැම්බර් 2 වන දින පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 දක්වා ද පැවැත්විණි. පළමු දිනයේදී කරුණු දැක්වීම් සිදු කළේ පෙත්සම්කරුවන් පමණි. දෙවන දිනයේදී ඉතිරි පෙත්සම්කරුවන්, මැදිහත් පාර්ශ්වයන් (Interveners) සහ අවසාන වශයෙන් වගඋත්තරකරු වෙනුවෙන් සොලිසිටර් ජනරාල්වරයා විසින් කරුණු දැක්වීම් සිදු කරන ලදී. එම කරුණු දැක්වීම් ඉතා විස්තරාත්මක වූ අතර විනිසුරුවරුන්ගේ මැදිහත්වීම් හෝ බාධා කිරීම් ඉතා අවම මට්ටමක පැවතුණි.
13. මැදිහත් පාර්ශ්වයන්ගේ සහ වගඋත්තරකරුගේ කරුණු දැක්වීම් අවසානයේදී, ඔවුන් ඉදිරිපත් කළ කරුණුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා වාචිකව කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙකු නැගී සිටියහ. කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් විසින් තවදුරටත් වාචික කරුණු දැක්වීම් සිදු නොකළ යුතු බවට අගවිනිසුරුතුමා නියෝග කළ අතර, ඒ වෙනුවට 2026 සැප්තැම්බර් 3 වන දින ප.ව. 3.00 වන විට අදාළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර ලෙස ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවසර ලබා දුන්නේය. ප්‍රතිචාර දැක්වීම සඳහා වාචිකව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් දිගින් දිගටම ඉල්ලා සිටියද, අගවිනිසුරුතුමා එම ඉල්ලීමට එකඟ නොවීය.
14. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(2) වගන්තියට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම් පිළිබඳ තීරණය ගෙන සිය නිර්ණය (determination) 2026 සැප්තැම්බර් 8 වන දිනට පෙර ප්‍රකාශයට පත් කළ යුතු බව සඳහන් කළ යුතුය. එබැවින්, මෙම නඩු කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ හදිසි ස්වභාවයක් පැවතුණි.
ක්‍රියාපටිපාටියට අදාළ සාධාරණත්වය සහ අවධානය යොමු විය යුතු වෙනත් කරුණු
15. කෙසේ වෙතත්, මා නිරීක්ෂණය කළ සහ BASL හි සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් ද මතු කරන ලද අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක් පවතී. මෙම කනස්සල්ල ප්‍රධාන වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති කටයුතු මෙහෙයවීමේදී මතු වූ ක්‍රියාපටිපාටියට අදාළ සාධාරණත්වය පිළිබඳ ගැටලු හා සම්බන්ධ වන අතර, එමගින් අධිකරණයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් ඇති විය හැකිය.
16. අධිකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ක්‍රියා පටිපාටිමය සාධාරණත්වය මූලික අංගයක් වේ. ක්‍රියා පටිපාටිමය සාධාරණත්වයෙන් බැහැර වීමක් හේතුවෙන් නීතිමය ප්‍රතිවිපාක (තීරණයක වලංගුභාවයට බලපෑමක් ඇතිවීම ඇතුළුව) ඇතිවේද යන්න, අදාළ තත්වයන් සහ අදාළ නීතිය මත රඳා පවතී. එබැවින්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කමක් සහිත කටයුතු වලදී, ක්‍රියා පටිපාටිමය සාධාරණත්වය පිළිබඳ සාධාරණ ලෙස ගැටළු මතු විය හැකි කරුණු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමත්, මනාව ස්ථාපිත මූලධර්මවලින් බැහැර වීමක් සිදුවන්නේ නම් ඒ සඳහා සාධාරණ හේතු පැවතීමත් අත්‍යවශ්‍ය වේ.
17. අවධානයට ලක්වන පළමු කරුණ වන්නේ අගවිනිසුරුවරයා නඩුවෙන් ඉවත් වීම (recusal) සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමයි. යෝජිත සංශෝධනය මගින් ප්රතිලාභ ලැබිය හැකි පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අගවිනිසුරුවරයා වන බව පෙන්වා දෙමින්, පෙත්සම්කරුවන් විසින් අභිලාෂයන් අතර ගැටුමක් (conflict of interest) ඇති විය හැකි බවට කරුණු මතු කරන ලදී. එම පසුබිම තුළ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම් විභාග කළ යුතු බවට ඔවුහු යෝජනා කළහ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.
18. අභිලාෂයන් අතර ගැටුමක් පදනම් කරගෙන විනිසුරුවරයෙකු නඩුවෙන් ඉවත් වීම බරපතල කාරණයකි; මන්ද එය අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ මූලික අවශ්‍යතාවයට සම්බන්ධ වන අතර, පක්ෂග්‍රාහීත්වයක් පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවීම සම්බන්ධයෙන්ද බලපෑ හැකි බැවිනි. එබැවින්, විශේෂයෙන්ම මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කමක් සහිත කාරණයකදී, එවැනි ගැටළුවක් මතු කරන ඉල්ලීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, එම ඉල්ලීම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පාදක වූ කරුණු පැහැදිලි වන ආකාරයට කටයුතු කිරීම වැදගත් වේ. ප්‍රමාණවත් තරම් පැහැදිලි හේතු නොමැති විට, අපක්ෂපාතීත්වය සහ ක්‍රියා පටිපාටිමය සාධාරණත්වය පිළිබඳව ගැටළු ඉතිරි වීමේ අවදානමක් පවතී. මෙම නිරීක්ෂණය මගින් අගවිනිසුරුවරයා ඇත්ත වශයෙන්ම පක්ෂග්රාහී වූ බව හෝ ඉවත් වීම සඳහා වූ ඉල්ලීම අනිවාර්යයෙන්ම නිවැරදි පදනමක් මත පිහිටා තිබූ බව හෝ ඇඟවීමට අදහස් නොකෙරේ; ඒ වෙනුවට, මෙවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ එය ප්‍රතික්ෂේප කිරීම සඳහා සාධාරණ හේතු දැක්වීමේ වැදගත්කම මෙයින් අවධාරණය කෙරේ.
19. අවධානයට ලක්වන දෙවන කරුණ වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් (full bench) මගින් පෙත්සම් විභාග කළ යුතු බවට වූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි. විනිසුරු මඩුලු සැකසීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට බලය පැවරී ඇති බව පිළිගැනේ. කෙසේ වෙතත්, එම බලය ක්‍රියාත්මක කිරීම අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය මූලධර්මවලට අනුකූල විය යුතු අතර, එය අත්තනෝමතික හෝ අතාර්කික බවක් නො ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ සුවිශේෂී නඩු තීන්දුවක් වන ‘කේසවානන්ද භාරතී එදිරිව කේරළ ප්‍රාන්තය’ (Kesavananda Bharati v. State of Kerala, AIR 1973 SC 1461) නඩුව ඇතුළුව, පොදු නීති (common law) ක්‍රියාත්මක වන වෙනත් අධිකරණ බල ප්රදේශවලද මෙයට අදාළ උදාහරණ පවතී.
20. එබැවින්, මෙම පෙත්සම්වලට අදාළ විශේෂිත තත්වයන් යටතේ, පූර්ණ විනිසුරු මඬුල්ලක් (full bench) නොපිහිටුවීමට ගත් තීරණය සාධාරණීකරණය කළ හැකි හේතු තිබුණේද යන්න පිළිබඳ ගැටලුවක් මතු වේ. ඊට අදාළ හේතු ප්‍රසිද්ධියේ නොපෙනී යාම හේතුවෙන්, විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ ක්‍රියාවලිය සහ අධිකරණයේ ආයතනික අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන විශ්වාසය සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකිය. විනිසුරු මඬුල්ල පිහිටුවීම නීතිවිරෝධී බව මින් අදහස් නොකෙරේ. කෙසේ වෙතත්, පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීමට සාධාරණ හේතු නොමැති වීම, වෙනත් විනිසුරුවරුන්ව යම් යම් සැඟවුණු අරමුණු මත බැහැර කර ඇති බවට වන මතය තහවුරු කිරීමට හේතු විය හැකි අතර, එමගින් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විශ්වසනීයත්වය දුර්වල විය හැකිය.
21. මීට සමීපව සම්බන්ධ තවත් කරුණක් වන්නේ, අගවිනිසුරුවරයා හැරුණු විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් මෙම පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලට ඇතුළත් නොවීමයි. මෙම නඩු කටයුතු සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කම සැලකිල්ලට ගැනීමේදී මෙය විශේෂයෙන්ම අවධානයට ලක්විය යුත්තකි. විනිසුරු මඬුල්ලක් පිහිටුවීමේදී ජ්‍යෙෂ්ඨත්වය පමණක් තීරණාත්මක සාධකයක් නොවුණද, මෙවැනි වැදගත් කරුණක් සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ලේ සංයුතිය සාධාරණ ලෙස මහජන විමර්ශනයට ලක්විය හැකිය; විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් කිහිප දෙනෙකුම ඊට ඇතුළත් කර නොමැති අවස්ථාවකදී මෙය වඩාත් කැපී පෙනේ.
22. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙල පහත පරිදි වේ:
a. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන
b. විනිසුරු යසන්ත කෝදාගොඩ
c. විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්
d. විනිසුරු ශිරාන් ගුණරත්න
e. විනිසුරු ජනක් ද සිල්වා
f. විනිසුරු අචල වෙංගප්පුලි
g. විනිසුරු මහින්ද සමයවර්ධන
h. විනිසුරු අර්ජුන ඔබේසේකර
i. විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා
j. විනිසුරු මේනකා විජේසුන්දර
k. විනිසුරු සම්පත් බී. අබේකෝන්
l. විනිසුරු එම්. සම්පත් කේ. බී. විජේරත්න
m. විනිසුරු කේ. එම්. ජී. එච්. කුලතුංග
23. එබැවින්, පෙත්සම් විභාග කළ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලට, විනිසුරු අචල වෙංගප්පුලිට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටි විනිසුරුවරුන් සිව්දෙනා – එනම් විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, විනිසුරු ශිරාන් ගුණරත්න සහ විනිසුරු ජනක් ද සිල්වා – ඇතුළත් නොවීම කැපී පෙනෙන කරුණකි.
24. මෙම කාරණය සතු සුවිශේෂී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කම සැලකිල්ලට ගත් විට, විනිසුරු මඬුල්ලේ සංයුතිය තීරණය කිරීමට පාදක වූ පදනම, විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීමේ අරමුණින්, විනිවිදභාවයෙන් යුක්ත සහ පැහැදිලිව වටහාගත හැකි එකක් විය යුතුය. මෙම නිරීක්ෂණය මගින් අදහස් කෙරෙන්නේ අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා පත් කරන ලද විනිසුරුවරුන් ඊට සුදුසුකම් නොලත් අය බව නොවන අතර, ඒ වෙනුවට, ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් එම විනිසුරු මඬුල්ලේ සංයුතියට ඇතුළත් නොකිරීමට බලපෑ තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි.
25. සැලකිල්ලට ගත යුතු සිව්වන කරුණ වන්නේ, මැදිහත් පාර්ශ්වයන්ගේ සහ වගඋත්තරකරුගේ වාචික කරුණු දැක්වීම්වලින් අනතුරුව, ඊට ප්‍රතිචාර වශයෙන් වාචිකව කරුණු දැක්වීමට පෙත්සම්කරුවන්ට අවසර ලබා දීම අගවිනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි. කෙසේ වෙතත්, නියමිත කාලසීමාව තුළ ලිඛිතව කරුණු දැක්වීමට පෙත්සම්කරුවන්ට අවසර ලබා දී තිබුණි.
26. මෙහිදී පැන නගින ප්රශ්නය වන්නේ, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලුවල ස්වභාවය සහ සංකීර්ණත්වය මෙන්ම මැදිහත් පාර්ශ්වයන් සහ වගඋත්තරකරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පුළුල් වාචික කරුණු දැක්වීම් සැලකිල්ලට ගැනීමේදී, පෙත්සම්කරුවන්ට ලිඛිතව ප්‍රතිචාර දැක්වීමට ලබා දුන් අවස්ථාව ක්‍රියාපටිපාටියට අදාළ සාධාරණත්වයේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වූයේ ද යන්නයි. නඩු කටයුතු වලදී, ලිඛිත ප්‍රතිචාරයක් සමඟ හෝ රහිතව, මූලික ක්‍රියාපටිපාටියට අදාළ සාධාරණත්වයේ කොටසක් ලෙස වාචිකව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය (මෙහිදී පෙත්සම්කරුවන්ට) සාමාන්‍යයෙන් ලබා දෙනු ලැබේ; එබැවින්, මෙම නඩුවේ පවතින තත්ත්වයන් යටතේ එම අයිතිය ප්‍රතික්ෂේප කිරීම අසාමාන්‍ය ක්‍රියාවක් විය. නඩු කටයුතු වල පළමු දිනයේ රාත්‍රී 10.45 දක්වා වාචික තර්ක ඇසීමට අධිකරණය සූදානමින් සිටි බැවින්, දෙවන දිනයේ පස්වරු 5.30 න් පසුව වුවද එම වාචික ප්‍රතිචාරය ඇසීමට ඉඩ තිබුණි. මේ සම්බන්ධයෙන්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණේ ඔවුන් සියලු දෙනාම වාචිකව ප්‍රතිචාර දැක්වීමට අදහස් නොකරන බවයි; එබැවින් දෙවන දිනයේදී ඔවුන්ගේ කරුණු ඇසීමට ඉඩ තිබුණි.
පසුකාලීන ක්‍රියාකාරකම්
27. 2026 සැප්තැම්බර් 2 වන දින නඩු කටයුතු අවසන් වීමෙන් පසුව, අධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදීන් මා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී මතු වූ ප්‍රශ්නවලට ප්‍රතිචාර වශයෙන්, නඩු කටයුතු සහ අධිකරණයේ රැඳී සිටි කාලය තුළ මගේ අවධානයට ලක් වූ කරුණු පිළිබඳ නිරීක්ෂණවල සාරාංශයක් මම ඉදිරිපත් කළෙමි. මගේ අදහස් දැක්වීම් එම නිරීක්ෂණවලට පමණක් සීමා වූ අතර, පෙත්සම්වල ගුණාත්මකභාවය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමට නියමිත කරුණු පිළිබඳව කිසිදු නිශ්චිත මතයක් ප්‍රකාශ කිරීමට මම උත්සාහ නොකළෙමි. කෙසේ වෙතත්, අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ අධිකරණය දුර්වල කිරීමෙන් ඇති විය හැකි අනතුරු පිළිබඳව මම අවධාරණය කළෙමි; මන්ද අධිකරණය යනු යුක්තිය පතා පැමිණෙන පාර්ශ්වයන්ට ආරක්ෂාව සලසන අවසාන බලකොටුවයි.
28. ඉන් අනතුරුව, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට මම උත්සාහ කළෙමි.
29. ඒ අනුව, මම අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ හා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2026 සැප්තැම්බර් 4 වන දින ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ ගරුවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට උත්සහ කලෙමි.
30. 2026 සැප්තැම්බර් 3 වන දින කොළඹ නොසිටි බැවින් තමාට හමුවීමක් ලබා දිය නොහැකි බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මට දැනුම් දුන්නේය. මෙම කටයුත්ත සඳහා ඔහු විසින් නම් කළ හැකි වෙනත් අයෙකු හමුවීමට අවස්ථාවක් තිබේදැයි මම විමසීමක් කළෙමි. එවැනි කටයුතු සූදානම් කිරීමට උත්සාහ කරන බව ඔහු පැවසූ නමුත්, මගේ සංචාරය අවසන් වන තුරුම ඒ පිළිබඳව වැඩිදුර ප්‍රතිචාරයක් මට ලැබුණේ නැත.
31. මීට අමතරව, 2026 සැප්තැම්බර් 3 වන දින හමුවීමේ අවස්ථාවක් ඉල්ලා සිටිමින් මම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මියව ද සම්බන්ධ කර ගත්තෙමි. කනගාටුවට කරුණක් නම්, එම ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමයි.
32. කෙසේ වෙතත්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට මට හැකි විය. අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන විශ්වාසය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අපගේ සාකච්ඡාවේදී අවධානය යොමු විය. හමුවීම අතරතුර, පාරිසරික ගැටළු සහ දේශගුණික යුක්තිය (climate justice) සම්බන්ධ කරුණු කෙරෙහි ද ඔහු උනන්දුවක් දැක්වීය. එවැනි කරුණු සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවලදී උපදෙස් සහ සහාය ලබා දීම සඳහා CLA (Commonwealth Lawyers Association) සතුව කැපවූ ‘දේශගුණික යුක්තිය පිළිබඳ කමිටුවක්’ පවතින බව මම ඔහුට දැනුම් දුන්නෙමි.
33. මම මගේ හමුවීම් සහ සංචාරය 2026 සැප්තැම්බර් 3 වන දින අවසන් කළෙමි.
34. එසේම, 2026 සැප්තැම්බර් 3 වන දින, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වාචික පිළිතුරු ඉදිරිපත් කිරීමට අවසර නොදීමට ගත් තීරණය (2026 සැප්තැම්බර් 2 දින) ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින්, නඩු විභාගයෙන් පසු ලිඛිත කරුණු ඉදිරිපත් නොකරන බවට BASL (ශ්‍රී ලංකා නීතිඥ සංගමය) විසින් යෝජනාවක් ගොනු කරන ලදී. මීට අමතරව, තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු ද ඒ හා සමානව ලිඛිත කරුණු ඉදිරිපත් නොකරන බවට වාර්තා වී ඇත. මෙම තත්ත්වය ඇති වූයේ මෙම වාර්තාව සඳහා නිරීක්ෂණය කරන ලද වාචික නඩු විභාගයෙන් පසුව බැවින්, එය ඉහත දක්වා ඇති නිරීක්ෂණවලින් වෙන්ව සටහන් කර ඇත.
නිගමනය
35. අධිකරණයේ ස්වාධීනත්වයේ වැදගත්කම, *විසුවලිංගම් සහ තවත් අය එදිරිව ලියනගේ සහ තවත් අය* ([1983] 1 Sri L.R. 203) යන නඩුවේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කරන ලද නිරීක්ෂණ මගින් මනාව පැහැදිලි කෙරේ. පහත දැක්වෙන කොටස ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වේ:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන අභිලාෂයන් එහි අතිශය වැදගත් ප්‍රස්තාවනාව තුළ දක්වා ඇත. නීතියේ ආධිපත්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වන අතර, අධිකරණයේ ස්වාධීනත්වය සහ මූලික මානව හිමිකම් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සහ අත්‍යවශ්‍ය ලක්ෂණ වේ. වඩාත්ම අගය කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් අත්‍යවශ්‍ය බවත්, එම අයිතිවාසිකම් තහවුරු කළ හැක්කේ එවැනි අධිකරණයක් හරහා පමණක් බවත් ඉතිහාසය අපට උගන්වන පාඩමකි. ස්වාධීන අධිකරණයක් මගින් ක්‍රියාත්මක කෙරෙන නීතියක් නොමැතිව නිදහස් සමාජයක් පැවතිය නොහැක. ප්රජාතන්ත්රවාදී රජයක ක්‍රියා පවා විමර්ශනයට ලක් කළ හැකි ස්වාධීන අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාම සහ ආරක්ෂා කිරීම එම රජයේ අභිමානය විය යුතු අතර එය එසේම වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය කරන්නා ලෙස ක්‍රියා කිරීමට ස්වාධීන අධිකරණයට ඇති බලය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කරනු ලැබේ.
36. අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ, මෙම නඩු කටයුතු ඉතා සීමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කාල රාමුවක් තුළ සිදු වූ අතර, ඒවා සැලකිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වැදගත්කමක් සහිත කරුණු ඇතුළත් වූ ඒවා බවයි. මෙම වාර්තාවේ දැක්වෙන නිරීක්ෂණවල අරමුණ වන්නේ පෙත්සම්වල හරය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසාන වශයෙන් තීරණය කළ යුතු කරුණු පිළිබඳව නිශ්චිත මතයක් ප්‍රකාශ කිරීම නොවේ. කෙසේ වෙතත්, ක්‍රියා පටිපාටිමය සාධාරණත්වය, විනිවිදභාවය සහ අධිකරණ පරිපාලනය කෙරෙහි මහජන විශ්වාසය පවත්වාගෙන යාම යන කරුණු සැලකිල්ලට ගනිමින්, මගේ අදහසට අනුව ගැඹුරු විමර්ශනයකට ලක් විය යුතු ක්‍රියා පටිපාටිමය කරුණු කිහිපයක් මෙහිදී හඳුනාගෙන ඇත.
37. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධ කරුණු වලදී, අධිකරණ තීරණවලට එළඹෙන ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයක් ගොඩනැගීම අතිශයින් වැදගත් වේ; ඊට විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය, විනිසුරු මණ්ඩලයේ සංයුතිය සහ පාර්ශ්වයන්ට තම තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීමට ලබා දී ඇති අවස්ථාව කෙරෙහි ඇති විශ්වාසය ද ඇතුළත් වේ.
38. අධිකරණය සහ අධිකරණ පරිපාලනය කෙරෙහි එවැනි විශ්වාසයක් පවත්වාගෙන යාම අධිකරණය හමුවේ පෙනී සිටින පාර්ශ්වයන්ට පමණක් වැදගත් වන්නක් නොවේ; එය නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ එහි ගෞරවනීය තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා ද අත්‍යවශ්‍ය කරුණකි.
ස්ටීවන් තිරු
සභාපති
පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය
2026 සැප්තැම්බර් 7
සටහන
