බම්බලපිටිය දෙහිවල වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට නියෝග!

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළාසන්න ප්‍රදේශයේ අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි මුල් අදියර යටතේ බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ඇතුළු ප්‍රදේශ කිහිපයක පිහිටි පුද්ගලයන් අට දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් ඉවත් කිරීම සඳහා නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.

අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් ද නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් අදාළ අනවසර ඉදිකිරීම් සහ ඒවා තුළ ඇති සියලු භාණ්ඩ සැප්තැම්බර් 10 වැනිදාට පෙර ඉවත් කර ගන්නා ලෙස හිමිකරුවන්ට දැනුම් දී ඇත.

එම කාලසීමාව තුළ අදාළ ගොඩනැගිලි ඉවත් කර ගැනීමට අපොහොසත් වුවහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දෙපාර්තමේන්තුව මගින් එම ඉදිකිරීම් කඩා ඉවත් කරන බවද දැනුම් දී තිබේ.

එලෙස කඩා ඉවත් කිරීමේදී සිදුවිය හැකි දේපළ හානි සම්බන්ධයෙන් රජය වගකීම භාර නොගන්නා බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.

1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත අනුව, වෙරළ කලාපය තුළ කිසියම් ඉදිකිරීමක් සිදු කිරීමට පෙර අදාළ බලධාරීන්ගෙන් විධිමත් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

එමෙන්ම, බලපත්‍රයකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් අධිකරණ නියෝගයකින් තොරව කඩා ඉවත් කිරීමට නීතිමය බලතල පනතේ 31(4) වගන්තිය යටතේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සතුව පවතී.

Social Sharing
නවතම පුවත්