
රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට ‘GovPay’ නමින් ව්‍යාජ වෙබ් සබැඳි ජංගම දුරකථන වෙත යොමු කරමින් ජනතාවගේ මුදල් සහ සංවේදී බැංකු තොරතුරු සොරාගැනීමේ වංචාවක් ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ඩී. ජේ. සේනාධීර මහතා සඳහන් කරන්නේ, රථවාහන වැරදි සඳහා මාර්ගගතව දඩ මුදල් ගෙවීමට වෙනම කිසිදු නිල වෙබ් අඩවියක් නොමැති බවයි.
ජනතාවගේ කටයුතු පහසු කිරීම සහ මුදල් ගනුදෙනුවලදී සිදුවන අක්‍රමිකතා අවම කිරීමේ අරමුණින් රථවාහන වැරදි සඳහා ‘GovPay’ නීත්‍යානුකූල ගෙවීම් ක්‍රමවේදය මේ වසර මුලදී දිවයින පුරා හඳුන්වා දී තිබේ.
කෙසේ වෙතත්, එම පද්ධතියේ නම අවභාවිත කරමින් ව්‍යාජ වෙබ් අඩවි සහ සබැඳි යොදාගෙන ජනතාව මුළා කර මුදල් හා බැංකු තොරතුරු ලබාගැනීමේ සැලසුම් සහගත ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
විශේෂයෙන්ම මේ දිනවල බොහෝ පුද්ගලයන්ගේ WhatsApp ගිණුම් වෙත “Sri Lanka Police Traffic Department – Speed Violation Payment” යන ශීර්ෂය යටතේ පණිවිඩ ලැබෙන බවත්, එහි අසත්‍ය නඩු අංකයක් සඳහන් කරමින් වේග සීමා උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් දඩ මුදලක් ගෙවිය යුතු බව දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.
එම පණිවිඩ මගින් දඩ මුදල දින දෙකක් ඇතුළත ගෙවා අවසන් නොකළහොත් අමතර ගාස්තුවක් අයකරන බවටත්, දින 30ක් ඉක්ම ගිය පසු අධිකරණ ක්‍රියාමාර්ග ගෙන වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවටත් තර්ජනාත්මක ආකාරයෙන් දැනුම් දෙන බව අනාවරණය වී තිබේ.
මෙම පණිවිඩ සම්පූර්ණයෙන්ම ජනතාව බියගන්වා ඔවුන්ගේ මුදල් සහ බැංකු ගිණුම් තොරතුරු ලබාගැනීමේ අරමුණින් සකස් කළ වංචනික ක්‍රියාවක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමේදී නිල ක්‍රමවේදය පමණක් භාවිත කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පොලිස් නිලධාරියෙකු විසින් රථයක් නතර කර දඩ පත්‍රිකාවක් නිකුත් කරන අවස්ථාවකදී, එම දඩ මුදල GovPay ක්‍රමය ඔස්සේ ගෙවීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ක්ෂේත්‍ර රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සතුව පවතින බවද ඔහු සඳහන් කළේය.
එම ගෙවීම් ක්‍රියාවලිය රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා ඉදිරිපිටදී සිදුකිරීම වැදගත් බවත්, පසුව ගෙවීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා උපදෙස් සහ තොරතුරු ලබාගත යුත්තේ අදාළ පොලිස් නිලධාරියා නිකුත් කරන නිල දඩ පත්‍රිකාව පදනම් කරගෙන පමණක් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව කෙටි පණිවිඩ හෝ WhatsApp හරහා ලැබෙන නාඳුනන වෙබ් සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, එවැනි සබැඳි හරහා බැංකු කාඩ්පත්, ගිණුම් හෝ වෙනත් සංවේදී තොරතුරු ඇතුළත් නොකරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මුලාශ්‍රය What News
