
ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා 2005 වසරේදී ආරම්භ කළ ‘විදාතා’ වැඩසටහන නූතන තාක්ෂණික දියුණුවට සහ ගෝලීය වෙළෙඳපොළ ප්රවණතාවන්ට ගැළපෙන පරිදි සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.
විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ ඔස්සේ බිහිවන නවෝත්පාදන ග්‍රාමීය මට්ටමේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත සමීප කරමින් ජාතික ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
දැනට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 315ක ක්‍රියාත්මක වන විදාතා සම්පත් මධ්‍යස්ථානවල පැරණි මෙහෙයුම් ආකෘතිය සහ යාවත්කාලීන නොවූ කුසලතා හේතුවෙන් නවීන තාක්ෂණික වෙනස්කම් මෙන්ම දේශගුණික විපර්යාසවලටද ප්‍රමාණවත් ලෙස අනුගත වීමට නොහැකි වී ඇති බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315ම ආවරණය වන පරිදි 2026–2030 උපායමාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබිණි.
එම උපායමාර්ගික රාමුව යටතේ සෑම විදාතා සම්පත් මධ්‍යස්ථානයක්ම එකිනෙකට සම්බන්ධිත විශේෂිත ඒකක තුනක් යටතේ නැවත සංවිධානය කිරීමට නියමිතය.
ඒ අනුව,
- විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ඒකකය
- සේවා, ආධාරක සහ බුද්ධිමය දේපළ ඒකකය
- තත්ත්ව සහ ප්‍රමිති ඒකකය ලෙස මෙම මධ්‍යස්ථාන ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලීමෙන් අනතුරුව, නව ආයතනික ආකෘතියක් යටතේ විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිසංවිධානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මෙලෙස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇත.
මෙම ප්‍රතිසංවිධානය හරහා ග්‍රාමීය ව්‍යවසායකයන් වෙත නවීන විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම, තාක්ෂණික සහාය, තත්ත්ව ප්‍රමිති සහ බුද්ධිමය දේපළ සම්බන්ධ සේවා වඩාත් කාර්යක්ෂමව ලබාදීමට අපේක්ෂා කෙරේ.
