රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ්!

රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සහින්දමරුදු පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අගෝස්තු 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ලිහිල් කිරීම සඳහා අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවකට අදාළවය.

සැකකරු සන්තකයේ තිබූ සම්පූර්ණ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන, හෙරොයින් මිලිග්‍රෑම් 70ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් පමණක් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුට සුළු දඬුවමක් ලබාදීමට කටයුතු කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම, ඉදිරියේදී අදාළ සැකකරුට කිසිදු බාධාවකින් තොරව කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දීම සඳහාද මෙම මුදල ඉල්ලා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන් වේ.

2026 අගෝස්තු 17 වනදා පොලිස් පරීක්ෂකවරයා පෙරියනිලාවලි පොලිස් ස්ථානය තුළදීත්, පොලිස් කොස්තාපල්වරයා කල්මුණේ කුඩි 9 සහිරා විද්‍යාලය ඉදිරිපිටදීත් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව සැකකරුවන් දෙදෙනා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, අගෝස්තු 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Social Sharing
නවතම පුවත්