නොදන්නා පුද්ගලයෙකුට ඇප තැබූ පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

ඉන්දීය ජාතිකයකුට ඇප තැබීම සඳහා මුදල් ලබාගැනීම සහ ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ කොළඹ, සංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී.

හුසේන් මොහොමඩ් සහ හසීත් මොහොමඩ් නමැති මෙම විත්තිකරුවන් දෙදෙනා, නොහඳුනන පුද්ගලයකුට ඇප තැබීම සඳහා මුදල් ලබාගැනීම, ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ එකී වරදට අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙසේ වරදකරුවන් කෙරිණි.

විත්තිකරුවන් විසින් ඇප තැබීමට සූදානම් බව දක්වමින් ව්‍යාජ දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවට අධිකරණ ලේඛකාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කිසිවකු පෙනීසිටියේ නැත. විත්ති කූඩුවේ සිටි සැකකරුවන් දෙදෙනා තමන්ට සාධාරණය ඉටුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ. තමාට කුඩා දරුවකු සිටින බව සැලකිල්ලට ගන්නා ලෙස ද පළමු විත්තිකරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ වංචා විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මුදලට ඇප තැබීමට ඉදිරිපත් වන පුද්ගලයන්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බවයි.

මුදලට ඇප තැබීමට ඉදිරිපත් වන පුද්ගලයන් මෙවැනි වරදවලට පෙළඹීම වැළැක්වීම සඳහා සමාජයට ආදර්ශයක් වන පරිදි දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටි පොලිසිය, දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා තහවුරු වී වරදකරුවන් වී ඇති බව ද පෙන්වාදුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් දෙදෙනාටම වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

කෙසේවෙතත්, විත්තිකරුවන් ඒ වන විටත් මාස හයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එම රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලය නියම කළ සිරදඬුවම් කාලයෙන් අඩුකිරීමට නියෝග කළේය.

උපුටා ගැනීම Ceylon Wire

Social Sharing
නවතම පුවත්