
ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) ලෙස පෙනී සිටිමින් බැංකු තැන්පතු මුදල් වංචා සහගත ලෙස ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) ජනතාවට දැනුම් දෙයි.
මෙම වංචාව සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවද ශ්‍රී ලංකා CERT ආයතනය පවසයි. වංචාකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය වැනි ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙන්ම එම ආයතනවල නිල ලිපි ශීර්ෂ, නිලධාරීන්ගේ අත්සන් සහ රබර් මුද්‍රා ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම වංචාව සිදු කරන බව අනාවරණය වී තිබේ.
වංචාකරුවන් මුලින්ම දුරකතන ඇමතුම් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු පිළිබඳ තොරතුරු විමසන බව සඳහන්ය.
අදාළ පුද්ගලයා සතු බැංකු තැන්පතු පිළිබඳ තමන්ට පූර්ව තොරතුරු ඇති බව පවසන වංචාකරුවන්, එම මුදල් වංචාසහගත ලෙස උපයා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය හරහා පරීක්ෂණයක් සිදු කළ යුතු බව පවසමින් ඔවුන් බියට පත් කරති.
ඉන් අනතුරුව ව්‍යාජ ලෙස සකස් කළ මහ බැංකු ලිපි ශීර්ෂ, නිලධාරීන්ගේ අත්සන් සහ රබර් මුද්‍රා සහිත ලිපි යොමු කරමින් වංචාව තවදුරටත් විශ්වාසනීය බවට පත් කිරීමට උත්සාහ කරන බව CERT පවසයි.
පසුව එම මුදල් වෙනත් පෞද්ගලික බැංකුවක ඇති ගිණුමකට මාරු කරන ලෙස වංචාකරුවන් උපදෙස් ලබා දෙන අතර, එම ගිණුම මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකුට අයත් බවටද ව්‍යාජ ලෙස පවසන බව සඳහන් වේ.
වංචාවට හසුවන පුද්ගලයන්ට තමන් සතු තැන්පතු මුදලින් මුලින්ම කොටසක් එම ගිණුමට බැර කරන ලෙස දැනුම් දෙන අතර, මුදල් තැන්පත් කළ බව තහවුරු කරන බැංකු ලේඛන ලබාදෙන ලෙසද ඉල්ලා සිටින බව CERT පවසයි.
එමෙන්ම පරීක්ෂණයෙන් අනතුරුව එම මුදල යළිත් තමන් සතු මුල් බැංකු ගිණුමට මාරු කරන ලෙස ඉල්ලා පොලිස් නිලධාරියෙකුගෙන් ලැබුණු බවට ව්‍යාජ ලිපියක්ද ලබාදෙන ලෙස වංචාකරුවන් උපදෙස් දෙන බව අනාවරණය වී තිබේ.
එබැවින් රාජ්‍ය ආයතනවල නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකතන, සමාජ මාධ්‍ය හෝ ව්‍යාජ ලේඛන හරහා සිදු කරන මෙවැනි ඉල්ලීම්වලට නොරැවටෙන ලෙසත්, කිසිදු අවස්ථාවක සැක සහිත ගිණුම් වෙත මුදල් මාරු නොකරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.
