පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය අද!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ ස්ථාවරය අද (14) දැනුම් දෙන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු ඊයේ (13දා) මෙම නියෝගය කළේය.

පැමිණිල්ලේ නඩුව අවසන්ව විත්තියේ නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඬුල්ල මෙම දැනුම් දීම කළේය.

මේ අනුව විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන්නේද, නැතහොත් සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි ලබා දෙන්නේද යන්න සහ විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවන්නේද යන්න පිළිබඳ සිය ස්ථාවරය විත්තිකරුවන් විසින් අද (14) අධිකරණයට ප්‍රකාශ කළ යුතුව තිබේ.

2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත.

නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මේ වන විට මිය ගොස් ඇත. අනෙකුත් විත්තිකරුවන් සම්බන්ධයෙන් නඩුව විභාගය සිදුවේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් 224 දෙනකු මරණයට පත්ව ඇති අතර 584 දෙනකු පමණ තුවාල ලැබුවේය.

විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් ඇති අධිචෝදනා පත්‍රයේ චෝදනා 23,270ක් පමණ හා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 1,500කට ආසන්න ප්‍රමාණයක් නම්කර තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා සහ අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි සහ අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් විසින් පැමිණිල්ල මෙහෙයවිණි. 1,2,7,8,10,15,17,18 සහ 19 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කනීල් මද්දුමගේ මහතා පෙනී සිටින අතර 12, 13 චුදිතයන් වෙනුවෙන් රවිදු යසස්, නිරෝෂන් සිරිවර්ධන යන නීතිඥ මහත්වරුන්ද 20, 25 වන විත්තිකරුවන් වෙනුවෙන් ලෝරන්ස් ඇඩම්ස්, සංජීව රුවන්පතිරණ යන නීතිඥ මහත්වරු පෙනී සිටිති. සෙසු විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නියෝජනයන් නොමැති අතර ඔවුහු සිය නඩුවට පෙනී සිටිති.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්