
මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 225කට අධික දේපළ හානියක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී මේ බව අනාවරණය වී ඇත.
එහිදී මෙරට බන්ධනාගාර පද්ධතියේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා කර තිබේ.
රැඳවියන් කලහකාරී ලෙස හැසිරීම අවම කිරීම සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ සේවය වැඩි වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වී ඇත.
පසුගිය ජූලි මස 05 සහ 06 යන දෙදින මීගමුව බන්ධනාගාරයේද, අගෝස්තු 01 දින මහර බන්ධනාගාරයේද, අගෝස්තු 06 දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ගැටුම්කාරී තත්ත්වයන් හටගෙන තිබිණි.
එමෙන්ම අගෝස්තු 07 දින කුරුවිට බන්ධනාගාරයේ සහ පල්ලන්සේන තරුණ වැරදිකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේද නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වී තිබේ.
මෙම සිදුවීම් හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයන්හි ගොඩනැගිලි ඇතුළු දේපළ රැසකට අලාභහානි සිදුව ඇති අතර, විශේෂයෙන් මීගමුව සහ මහර බන්ධනාගාරවල දැඩි දේපළ හානියක් සිදුව ඇති බව අනාවරණය වී ඇත.
බන්ධනාගාර තුළ ඇතිවන මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සහ නැවත එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද ජාතික මෙහෙයුම් සභාවේදී සාකච්ඡා කර තිබේ.
