වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් සඳහා අවබෝධතා ගිවිසුමක්!

Smart Class Room NPP

වතුකර පාසල් සඳහා Smart Class Room ( ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම පසුගියදා (16) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් “ප්‍රභාත් චන්ද්‍රකීර්ති” මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් “සන්තෝෂ් ජා” මහතා විසින්  ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේදි සිදු  කරන ලදි.

මෙරට  වතුකර ප්‍රජාවන්හි ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවර එළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරිමට සැලසුම් කර ඇත. වතුකර පාසල්හී අධ්‍යාපනයේ ගුණාත්මකතාවය ඉහළ නැංවීම මෙහි තවත් සුවිශේෂි අරමුණක් වන අතර ඒ සඳහා ඉන්දිය රජයෙන් ත්‍යාගශීලි මුදල් අධාරයක් ලෙස රුපියල් මිලියන 508 ක් ලබා දී ඇත. එමෙන්ම මෙම ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපිලියල් මිලියන 115ක මුදලක්ද වෙන්කොට ඇත.

අධ්‍යාපනය සහ තාක්ෂනය තුළින් අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා දෙරට කටයුතු කරන බැවින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගැඹුරු මුල් බැසගත් මිත්‍රත්වය සහ සහයෝගිතාවය මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම මගින් අවධාරනය කෙරේ.  වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙම මුලපිරිම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ අපගේ වතුකර ප්‍රජාවන්හී ඩිජිටල් පරතරය පියවීම සඳහා සුවිශේෂි පියවරක් ලෙසද අවධාරණය කළේය.

අදාළ ස්මාර්ට් පන්ති කාමර ලබාදීමේ ව්‍යාපෘතියට අනුව, මධ්‍යම සහ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සමඟ සහයෝගයෙන් පාසල්වල පවතින පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, මෙම සුදානම් කිරිමේ කටයුතු මඟින් විෂය මාලාවට ඩිජිටල් ඉගෙනුම් මෙවලම් බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු සුදානම් කර  ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් සඳහන් කළේය.

එමේන්ම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරිම සහතික කිරිම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමගද සහයෝගයෙන් කටයුතු කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් “ප්‍රභාත් චන්ද්‍රකීර්ති” මහතා, ඉන්දිය මහ කොමසාරිස් “සන්තෝෂ් ජා” මහතා ඇතුළු අමාත්‍යාංශ සහ මහකොමසාරිස් කාර්යාල නිළධාරින් පිරිසක්ද සහභාගී විය.

-අම්බිකා සැමුවෙල්-

Social Sharing
අවකාශය නවතම