
නීතියේ ආධිපත්යය සුරැකීමට නම්, අපරාධ වැළැක්වීමේ නාමයෙන් අහිංසක පුරවැසියකු නීතිමය පීඩනයට ලක්වීම වැළැක්විය යුතුය.
ශ්රී ලංකාවේ නීතියේ ආධිපත්යය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවේදී බරපතළ අවධානයක් යොමු විය යුතු කරුණක් වන්නේ නිස්කාරණ හා පීඩාකාරී නඩු පැවරීම්ය. අපරාධ වැළැක්වීම සහ නීතිය ක්රියාත්මක කිරීම සඳහා පොලිසියට පැවරී ඇති බලතල අත්යවශ්යය. එහෙත් එම බලතල භාවිත කළ යුත්තේ සාක්ෂි, නීතිය සහ වෘත්තීය වගකීම මත පදනම්වය. පුද්ගලයකුට එරෙහිව සාධාරණ පදනමක් නොමැතිව නඩු පැවරීමක් සිදුවන්නේ නම්, එය අදාළ පුද්ගලයාට පමණක් නොව සමස්ත යුක්තිය පසිඳලීමේ පද්ධතියටම හානිදායකය.
2026 ඔක්තෝබර් මාසයේදී ගම්පහ මහේස්ත්රාත් අධිකරණයෙන් වාර්තා වූ සිදුවීම මෙම ගැටලුව පිළිබඳව ජාතික අවධානය යොමු කළ යුතු බව නැවතත් පෙන්වා දෙයි. ගම්පහ, දෙවොලපොල, මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැති පුද්ගලයකුට එරෙහිව ගොනු කර තිබූ මත්ද්රව්ය සම්බන්ධ නඩු දෙකක් පිළිබඳව ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා දැක්වූ මැදිහත්වීම, නිස්කාරණ නඩු පැවරීම් වැළැක්වීමේ වගකීම පිළිබඳ වැදගත් සංවාදයක් මතු කර තිබේ.(ලංකාදීප, 2026 ඔක්තෝබර් 23; Daily Mirror, 2026 ඔක්තෝබර් 21; Daily FT, 2026 ඔක්තෝබර් 22)
එකම පුද්ගලයකුට එරෙහිව එකම දින නඩු දෙකක්
පුවත්පත් වාර්තාවලට අනුව, ගම්පහ දූෂණ මර්දන අංශය විසින් 2026 මැයි 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මත්ද්රව්ය ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ චාමර චතුරංග මාරසිංහ මහතාට එරෙහිව අංක 1743 සහ 1744 යටතේ නඩු දෙකක් පවරා තිබිණි. එක් නඩුවකදී අස්ගිරිය හන්දියේදී ‘අයිස්’ මිලිග්රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්රෑම් 500ක් ළඟ තබාගෙන සිටි බවටත්, අනෙක් නඩුවේදී එම දිනයේදීම ගම්පහදී ‘අයිස්’ මිලිග්රෑම් 130ක් ළඟ තබාගෙන සිටි බවටත් චෝදනා ගොනු කර තිබිණි.
මෙහි පළමු නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු චෝදනාවට වරද පිළිගැනීම නිසා ඔහුට දඩයක් නියම කෙරිණි. එහෙත් ඉන් සුළු මොහොතකට පසුව එම පුද්ගලයාටම එරෙහිව එකම දින පවරා තිබූ දෙවන නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරයාගේ අවධානය ඒ වෙත යොමු විය. අදාළ වැටලීම සිදු කළ දින මෙම විත්තිකරු සමඟ තවත් පුද්ගලයන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බැවින්, අත්වැරදීමකින් චෝදනා වැරදි ලෙස ගොනු කර ඇති බව පවසමින් 1743 දරන නඩුව ඉල්ලා අස්කර ගැනීමටත්, 1744 දරන නඩුව පවත්වාගෙන යාමටත් පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
මෙම කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, විත්තිකරුට එරෙහිව පොලිස් නිලධාරීන් තිදෙනකු සාක්ෂිකරුවන් ලෙස නම් කරමින් නඩු පවරා ඇත්තේ නඩු විභාගයකදී ඔහුව වරදකරු කිරීමේ අරමුණින් බව පෙන්වා දෙමින් පොලිසියේ ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
පුරවැසියන්ට පීඩාකාරී සහ නිස්කාරණ අන්දමින් නඩු පැවරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්රහයේ 17 (1) වගන්තිය යටතේ කටයුතු නොකළ යුත්තේ මන්දැයි විමසීමට අදාළ නිලධාරීන් කැඳවුවද ඔවුන් පෙනී නොසිටි අතර, ප්රමාණවත් කරුණු දැක්වීමක් ද සිදු නොවීය. ඒ අනුව, නඩු දෙකෙහි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි පොලිස් නිලධාරීන්ට රුපියල් 25,000 බැගින් ද, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනත යටතේ අය කරන දඩ මුදල්වලින් විශාල කොටසක් බැර වන ‘පොලිස් තෑගි අරමුදලෙන්’ එක් නඩුවකට රුපියල් 50,000 බැගින් නඩු දෙකට රුපියල් ලක්ෂයක් ද වශයෙන් රුපියල් ලක්ෂ දෙකක සමස්ත වන්දි මුදලක් විත්තිකරුට ගෙවීමට අධිකරණය නියම කළේය. එමෙන්ම, අදාළ නිලධාරීන් පෞද්ගලිකව විනය ක්රියාමාර්ගවලට යටත් නොකර සිටීම සඳහා, අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්කාරණ නඩු පැවරීමට බල නොකරන ලෙස සමස්ත පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට අවස්ථාව ලබා දී තිබිණි.
මෙහි වැදගත්කම වන්නේ අදාළ පුද්ගලයාගේ නඩුව පමණක් නොවේ. පුද්ගලයකුට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඒවායේ සාධාරණ පදනම, සාක්ෂිවල විශ්වසනීයත්වය සහ විමර්ශනයේ නීත්යනුකූලභාවය පිළිබඳව පොලිසිය වගකීමෙන් කටයුතු කළ යුතු බව මෙම සිදුවීම මගින් ප්රබලව මතු කෙරේ.
නඩු සංඛ්යාව නොව, යුක්තියේ ගුණාත්මකභාවය වැදගත්ය
මෙම නඩු කටයුත්තේදී මහේස්ත්රාත්වරයා මතු කළ තවත් තීරණාත්මක කරුණක් වන්නේ පොලිස් නිලධාරීන්ගේ කාර්යසාධනය මැනීම සඳහා භාවිත කරන ක්රමවේදයයි. එක් මාසයකදී පවරන නඩු සංඛ්යාවට වඩා වැඩි නඩු සංඛ්යාවක් ඊළඟ මාසයේදී ලබාගත යුතු බවට ඉහළ නිලධාරීන් විසින් පහළ නිලධාරීන්ට අණ කිරීමේ අවිධිමත් ක්රමවේදය මහේස්ත්රාත්වරයාගේ දැඩි විවේචනයට ලක් විය.
එහිදී මහේස්ත්රාත්වරයා නිරීක්ෂණය කළේ, මසකට වරක් නඩු සංඛ්යාව ඉහළ නැංවීමේ මෙම ක්රමවේදය තවත් වසර පහක් ක්රියාත්මක වුවහොත් පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය ද ප්රමාණවත් නොවනු ඇති බවයි (Asian Mirror, 2026 මැයි 29). සැබෑ ලෙසම අපරාධ මැඬලීම සඳහා කාර්යක්ෂමව වැටලීම් කරන්නේ නම් ඊළඟ මාසයේදී වාර්තා වන නඩු ප්රමාණය අඩු විය යුතු බවත්, ප්රදේශයේ නඩු වැඩිවීම මගින් පෙන්නුම් කරන්නේ අදාළ පොලිසියේ අකාර්යක්ෂමතාව බවත් අධිකරණය පෙන්වා දුන්නේය.
මෙවැනි කෝටා ක්රමවේදයන් කෙතරම් දුරට ක්රියාත්මක වන්නේද යන්න පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්යන්තර උපදෙස් සහ කාර්යසාධන ඇගයීම් ක්රමවේද පරීක්ෂා කිරීම අවශ්යය. එහෙත් මූලික ප්රතිපත්තිමය ප්රශ්නය පැහැදිලිය: පොලිස් කාර්යසාධනය මැනිය යුත්තේ ගොනු කරන නඩු සංඛ්යාවෙන් පමණක්ද? අපරාධ පාලනයේ සාර්ථකත්වය යනු නඩු සංඛ්යාව අඛණ්ඩව වැඩි කිරීම නොවේ. සංඛ්යාත්මක ඉලක්ක සපුරාලීම සඳහා නීතියේ ප්රමිතීන් ලිහිල් වන සහ නිස්කාරණ නඩු ගොතන පරිසරයක් ඇති වන්නේ නම්, එය පුරවැසි නිදහසට එල්ල වන බරපතළ තර්ජනයකි.
මත්ද්රව්ය වැටලීම් සහ සාක්ෂිවල විශ්වසනීයත්වය
මත්ද්රව්ය ජාවාරම පාලනය කිරීම රාජ්යයේ වැදගත් වගකීමකි. එහෙත් මත්ද්රව්ය සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් ක්රියාත්මක වන විට පවා නීතියේ ආරක්ෂණ ක්රමවේද අත්හැරිය නොහැකිය.
පොලිසිය විශාල වශයෙන් මත්ද්රව්ය නඩු පවරනු ලැබුවද, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමේදී පොලිසිය සඳහන් කළ ප්රමාණයට වඩා ඉතාම අඩු මත්ද්රව්ය ප්රමාණයන් ඒවායේ අඩංගු බවත්, ඇතැම් නඩු භාණ්ඩවල කිසිදු මත්ද්රව්යයක් අනාවරණය නොවන අවස්ථා පවතින බවත් මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයේදී අවධාරණය කර තිබේ.
මත්ද්රව්ය සම්බන්ධ නීති යටතේ සැකකරුවකුට ඇප ලබා දීම හෝ දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම තීරණය වන්නේ නඩු භාණ්ඩයේ අඩංගු මත්ද්රව්ය ප්රමාණය මතය. එවැනි පසුබිමක පොලිස් වාර්තාවල සඳහන් ප්රමාණය සහ රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු වන සැබෑ ප්රමාණය අතර බරපතළ පරස්පරතා පැවතීම හෝ කිසිදු මත්ද්රව්යයක් අඩංගු නොවීම හුදු අහම්බයක් ලෙස බැහැර කළ නොහැකිය. එබැවින් වැටලීම් ක්රමවේද, නඩු භාණ්ඩවල භාරකාරත්වය සහ සාක්ෂි ඉදිරිපත් කිරීමේ විශ්වසනීයත්වය පිළිබඳව ස්වාධීන පරීක්ෂාවක් සහ දැඩි වගවීමේ ක්රමවේදයක් තිබිය යුතුය.
වගවීම පුද්ගලයකුට සීමා නොවිය යුතුය
නිස්කාරණ නඩු පැවරීම් නොකරන ලෙස සමස්ත පොලිස් නිලධාරීන්ම ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට ලබා දී තිබූ නියෝගය ක්රියාත්මක කිරීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී පොලිසිය කල් ලබාගෙන තිබිණි. එහෙත් 2026 ඔක්තෝබර් 21 දින නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළේ පොලිස්පතිවරයාගේ චක්රලේඛයක් නොව, බස්නාහිර පළාත (උතුර) භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් 2026 ඔක්තෝබර් 19 දින නිකුත් කරන ලද, ගම්පහ, කැලණිය සහ මීගමුව යන පොලිස් කොට්ඨාසවලට පමණක් සීමා වූ මාර්ගෝපදේශ මාලාවකි.
එම ක්රියාකලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළ මහේස්ත්රාත්වරයා, අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බව තීරණය කරමින්, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීම සඳහා අදාළ නඩු ගොනු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියෝග කළේය.
ඉන් අනතුරුව, ඔක්තෝබර් 22 දින මෝසමක් මාර්ගයෙන් නඩුව කැඳවූ පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි නිලුපුල් සෝමසිංහ මහතා ඇතුළු නීතිඥ නිලධාරීන් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටිමින්, අදාළ නඩුවල සහතික කළ පිටපත් ලබා දෙන ලෙසත්, සමස්ත පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට නැවත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියහ. එහෙත් රජය එරෙහිව ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ නඩු තීන්දුව උපුටා දැක්වූ මහේස්ත්රාත්වරයා, විනිසුරුවරයකු දැනටමත් ප්රකාශයට පත් කළ තීන්දුවක් හෝ නියෝගයක් එම විනිසුරුවරයාටම නැවත වෙනස් කිරීමේ නෛතික හැකියාවක් (Functus Officio) නොමැති බව පෙන්වා දෙමින් එම ඉල්ලීම ප්රතික්ෂේප කළේය. අදාළ නඩු ගොනුවේ සම්පූර්ණ පිටපතක් පොලිස් නීති කොට්ඨාසයට නිකුත් කිරීමටත්, ඉදිරි පියවර සඳහා නඩු ගොනු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමටත් එහිදී රෙජිස්ට්රාර්වරියට නියම කෙරිණි.
මෙම සිදුවීම් මාලාව මතු කරන ප්රතිපත්තිමය පණිවුඩය පැහැදිලිය: නීතිය ක්රියාත්මක කරන ආයතන ද නීතියට සහ අධිකරණ නියෝගවලට යටත්ය. නිස්කාරණ නඩු පැවරීම් වැළැක්වීම එක් නිලධාරියකුගේ හෝ එක් පොලිස් ස්ථානයක වගකීමක් පමණක් නොව, සමස්ත පොලිස් පරිපාලනයේම ආයතනික වගකීමකි.
නිස්කාරණ නඩු පැවරීමක මිල ගෙවන්නේ කවුද?
අසාධාරණ ලෙස නඩු පැවරීමක් සිදු වූ විට එහි බලපෑම අධිකරණ ක්රියාවලියට පමණක් සීමා නොවේ. චෝදනාවකට මුහුණ දෙන පුද්ගලයාට නීතිඥ ගාස්තු, අධිකරණයට පැමිණීමේ වියදම්, රැකියාවට හෝ ආදායමට සිදුවන බාධා, දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමේ අවදානම සහ පවුලේ ජීවිතයට ඇති වන පීඩනය වැනි බරපතළ ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේ.
ශ්රී ලංකාවේ දීර්ඝ කාලයක සිට සිදුවන මෙම බොරු නඩු පැවරීම්වලට එරෙහිව වින්දිතයන් අභියෝග කරන්නේ ඉතා කලාතුරකිනි. ඊට ප්රධාන හේතු දෙකක් බලපායි: පළමුවැන්න, අධිකරණ ක්රියාවලියේ පවතින දීර්ඝකාලීන නඩු ප්රමාදය හේතුවෙන් වසර ගණනාවක් උසාවි ගානේ රස්තියාදු වීමට සහ රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදුවීම නිසා, නොකළ වරදකට වුවද “වරද පිළිගෙන” දඩයක් ගෙවා නිදහස් වීමට බොහෝ වින්දිතයන් පෙළඹීමයි (ගම්පහ මෙම සිදුවීමේදී පවා විත්තිකරු පළමු නඩුවට වරද පිළිගෙන තිබීම මීට නිදසුනකි). දෙවැන්න, පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගතහොත් ඊටත් වඩා බරපතළ ව්යාජ චෝදනාවකට තමන්ව පටලවනු ඇතැයි යන පොලිස් පළිගැනීම් පිළිබඳ භීතියයි.
අනෙක් අතට, මෙවැනි නිස්කාරණ නඩු හේතුවෙන් බන්ධනාගාර තදබදය උග්ර වන අතර, පදනම් විරහිත නඩු විභාග කිරීම සඳහා අධිකරණයේ කාලය හා සම්පත් වැය කිරීමට සිදුවීමෙන් සැබෑ අපරාධ සම්බන්ධ නඩු කටයුතු ද ප්රමාද වේ.
අවශ්ය වන්නේ ප්රායෝගික පොලිස් ප්රතිසංස්කරණයකි
මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පහත පියවර ප්රමුඛත්වයෙන් සලකා බැලිය යුතුය:
- නඩු පැවරීමට පෙර සාක්ෂි පරීක්ෂා කිරීමේ ප්රමිතීන් ශක්තිමත් කිරීම: සෑම නඩුවක්ම සාධාරණ කරුණු සහ විශ්වසනීය සාක්ෂි මත පදනම් විය යුතුය. මත්ද්රව්ය නඩුවලදී නඩු භාණ්ඩ හඳුනා ගැනීම, ඒවායේ භාරකාරත්වය සහ රස පරීක්ෂක වාර්තා නිසි පරිදි සලකා බැලීම අත්යවශ්යය.
- පොලිස් කාර්යසාධනය ඇගයීමේ ‘නඩු කෝටා‘ ක්රමවේදය වෙනස් කිරීම: මාසිකව නඩු සංඛ්යාව ඉහළ නැංවීමට ඉලක්ක ලබා දීම සාර්ථකත්වයේ මිනුමක් නොවිය යුතුය. විමර්ශනවල ගුණාත්මකභාවය, නීත්යනුකූලභාවය, සාක්ෂිවල ප්රමිතිය, ප්රදේශයේ අපරාධ අවම වීම සහ මහජන විශ්වාසය වැනි දර්ශක මත නිලධාරීන්ගේ ප්රගතිය ඇගයීමට ලක් කළ යුතුය.
- නිස්කාරණ නඩු පැවරීම් පිළිබඳ ස්වාධීන විමර්ශන ක්රමවේදයක් ඇති කිරීම: නඩුවක් පදනම් විරහිත බවට හෝ රස පරීක්ෂක වාර්තාවලින් මත්ද්රව්ය අඩංගු නොවන බවට අධිකරණ නිරීක්ෂණයක් ලැබුණු විට, එහි හේතු සොයා බැලීමට සහ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය හා නීතිමය පියවර ගැනීමට පැහැදිලි ක්රමවේදයක් තිබිය යුතුය.
- පොලිස් තෑගි අරමුදලේ දිරිගැන්වීම් ක්රමවේදය ප්රතිසංස්කරණය කිරීම: මත්ද්රව්ය නඩුවල දඩ මුදල්වලින් පොලිස් තෑගි අරමුදල තර කිරීමේ ව්යුහය අනිසි නඩු පැවරීම් සඳහා දිරිගැන්වීමක් සපයන්නේද යන්න සමාලෝචනය කළ යුතුය. ගම්පහ මහේස්ත්රාත්වරයා නියෝග කළ පරිදි, නිස්කාරණ නඩු පැවරීම්වලදී වින්දිතයන්ට වන්දි ගෙවීම සඳහා ද එම අරමුදලම භාවිත කිරීමේ ප්රතිපාදන විධිමත් කළ යුතුය.
- වින්දිතයන්ට සහනය හා වන්දි ලබා ගැනීමේ මාර්ග ශක්තිමත් කිරීම: නිස්කාරණ හා පීඩාකාරී නඩු පැවරීම්වලට එරෙහිව අපරාධ නඩු විධාන සංග්රහයේ 17 (1) වගන්තිය යටතේ මහේස්ත්රාත් අධිකරණ සතු වන්දි නියම කිරීමේ බලතල සක්රීයව භාවිත කිරීම දිරිගැන්විය යුතු අතර, පොලිස් පළිගැනීම්වලින් වින්දිතයන් ආරක්ෂා කරමින් ඔවුන්ට නීති ආධාර ලබා දීමේ යාන්ත්රණ ශක්තිමත් කළ යුතුය.
- ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණ සහ අණදීමේ වගකීම තහවුරු කිරීම: පහළ නිලධාරීන්ගේ ක්රියාකලාපය පමණක් නොව, අසාධාරණ නඩු ඉලක්ක ලබා දෙන සහ නීතිවිරෝධී ක්රියා වැළැක්වීමට අසමත් වන ඉහළ අධීක්ෂණ නිලධාරීන්ගේ වගවීම ද තහවුරු කළ යුතුය.
නීතියේ ආධිපත්යය ආරක්ෂා කිරීම සැමගේ වගකීමකි
ගම්පහ මහේස්ත්රාත් අධිකරණයෙන් වාර්තා වූ මෙම සිදුවීම, නිස්කාරණ නඩු පැවරීම් පිළිබඳ ගැටලුව නැවතත් මහජන සංවාදයට ගෙන එයි. එය එක් නඩුවක ප්රතිඵලය ලෙස පමණක් නොව, පොලිස් කාර්යසාධනය, විමර්ශන ප්රමිතීන්, ආයතනික වගවීම සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ පුළුල් ප්රතිසංස්කරණ සාකච්ඡාවකට අවස්ථාවක් ලෙස සැලකිය යුතුය.
අපරාධ වැළැක්වීම සඳහා ශක්තිමත් පොලිස් සේවයක් අවශ්යය. එහෙත් ශක්තිමත් පොලිස් සේවයක් යනු වැඩි නඩු සංඛ්යාවක් ගොනු කරන සේවයක් පමණක් නොවේ. එය සාක්ෂි මත ක්රියා කරන, අධිකරණ නියෝගවලට ගරු කරන, තම බලතල පිළිබඳ වගකීම දරන සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සේවයකි.
අහිංසක පුරවැසියකු නීතියෙන් ආරක්ෂා විය යුතුය; නීතියේ නාමයෙන් අසාධාරණයට ලක් නොවිය යුතුය. නීතියේ ගෞරවය රැකෙන්නේ පුරවැසියන් නීතියට බිය ගැන්වීමෙන් නොව, නීතිය සියලු දෙනාට සාධාරණව ක්රියාත්මක වන බවට විශ්වාසයක් ගොඩනැගීමෙනි.
මූලාශ්ර:
- ලංකාදීප, 2026 ඔක්තෝබර් 23 — ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ නඩු අංක 1743 සහ 1744 සම්බන්ධ වාර්තාව.
- Daily Mirror, 21 October 2026 — “Gampaha Magistrate seeks contempt action against IGP.” https://www.dailymirror.lk/latest-news/Gampaha-Magistrate-seeks-contempt-action-against-IGP/342-353085
- Daily FT, 22 October 2026 — “Magistrate seeks contempt charges against IGP.” https://www.ft.lk/front-page/Magistrate-seeks-contempt-charges-against-IGP/44-798985
- Asian Mirror, 29 May 2026 — “‘At this rate, population won’t be enough for prosecutions’: Court raps Police over ‘fake’ drug case.” https://asianmirror.lk/news/at-this-rate-population-wont-be-enough-for-prosecutions-court-raps-police-over-fake-drug-case/
සටහන: මෙම ලිපිය ප්රසිද්ධ පුවත් වාර්තා මත පදනම් වූ උද්දේශනාත්මක විශ්ලේෂණයකි. අදාළ නඩු ලිපිගොනුවල සහතික කළ පිටපත් මත ස්වාධීනව පරීක්ෂා කර නොමැති බැවින්, නඩු සම්බන්ධ සියලු කරුණු අවසාන අධිකරණ තීරණ ලෙස නොව, වාර්තා වූ සිදුවීම් සහ අධිකරණ නිරීක්ෂණ ලෙස ඉදිරිපත් කර ඇත.
