එයාර්බස් අල්ලස් නඩුවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉල්ලීමට අල්ලස් කොමිසම තීරණය කරයි!

එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අදාළ නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කර ඇති බවත්, විමර්ශන උදෘත නීතිපතිවරයා සහ අල්ලස් කොමිසමේ නීති අංශය වෙත යොමු කර ඇති බවත් ඔහු සඳහන් කළේය. නීතිපතිවරයාගේ උපදෙස් අනුව බෘනායි රාජ්‍යයේ ලියාපදිංචි බිස් සොලියුෂන් නමැති සමාගම පස්වන සැකකරු ලෙස නම් කිරීමට ද තීරණය කර තිබේ.

අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ එකම අධිචෝදනා පත්‍රයක් මගින් චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බවත්, එම අධිචෝදනා පත්‍රය කෙටුම්පත් කර අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියෙන් රාජ්‍යයට සිදුවූ බලපෑම සැලකිල්ලට ගෙන නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීම සුදුසු බව නීතිපතිවරයා තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, නඩුවේ සිව්වන සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා, විමර්ශන අවසන් කර ඇති බව සහ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ විභාග කිරීමට කටයුතු කරමින් සිටින බව යන කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම ඔහුගේ මව සහ පියා රෝහල්ගතව සිටින බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කිරීමට තීරණය කර ඇති බැවින් ඇප සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී අදාළ අධිකරණ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගත යුතු බවයි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ප්‍රකාශ කළේ විමර්ශන අවසන් වීමෙන් පසු නඩු පැවරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව පැමිණිල්ල සඳහන් කර ඇති බැවින් එම කරුණ පමණක් සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි.

එසේම නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා රෝහල්ගතව සිටින බව තහවුරු කිරීමට අවශ්‍ය වෛද්‍ය වාර්තා හෝ වෙනත් ලේඛන අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ද නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එමෙන්ම සැකකරුට එරෙහිව නොපමාව නඩු පවරා ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව ගොනු කරන තෙක් සුවිශේෂී කරුණු ඉදිරිපත් වුවහොත් ඇප ඉල්ලීමක් කිරීමට හැකියාව පවතින බව ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී යුරෝ මිලියන 1.4කට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දී නොමැති අතර, නඩු කටයුතු ඉදිරියේදී අධිකරණය හමුවේ විභාග වීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්