
බැසිල් ප්‍රනාන්දු අප අතරින් සදහටම වියෝ වුණේ පෙරේදා (30)ය. බැසිල් මහතා කිසි දින හැබැහින් මුණ නොගැහුණේද ඔහු බොහෝ තැන්වල සක්‍රීයව මුණ ගැසුණෙකි. හොංකොංහි සිටියද ගෝලීය තලයේ කතා කළද මානව හිමිකම් විෂයේ හැමදා ඇසුරු කළ, ඉදිරියේදීද අත්පොත් කළ හැකි අයෙකි. මානව හිමිකම් ගැන කතා කිරීමට කාලය නැති වේලාවක් ඔහුට තිබුණේ නැත. මේ වසර 08කට පෙර මගේ ජීවිතයේ බැසිල් ප්‍රනාන්දු ගැන අවසන් මතකයයි.
ලංකාවේ මානව හිමිකම් ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති බැසිල් ප්‍රනාන්දුගේ ඇසින්….
ශ්‍රී ලාංකේය නීතිඥයකු සහ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයකු වූ බැසිල් ප්‍රනාන්දු මහතා වර්තමානයේ ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාද වන්නේය. ආසියානු මානව හිමිකම් කොමිසම ආසියාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් නිරීක්ෂණාත්මක විසල් කාර්යභාරයක නිරත වෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යොමු කළ ප්රශ්නාවලියකට බැසිල් ප්‍රනාන්දු මහතා කළ පැහැදිලි කිරීම් මෙසේය.
මානව හිමිකම් අංශයෙන් ශ්‍රී ලංකාව තහවුරු කරගෙන ඇති ප්‍රගතිය ගැන ඔබ කොමිසමේ වත්මන් කියවීම කොහොම එකක්ද?
වර්තමානය වන විට මානව හිමිකම් යනුවෙන් දෙයක් ඇති බව සහ ඒවා ඉල්ලා සිටීමට තමන්ට අයිතියක් ඇති බව ශ්‍රී ලංකාවේ ජනතාව දැන සිටීමම ප්‍රගතියක්. ඒත්
ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන ආයතන තුළ මානව හිමිකම් ගැන අවබෝධය හා ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති උවමනාව සම්බන්ධයෙන් ප්‍රගතියක් තවම පෙනෙන්නට නෑ. මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාවගේ අවබෝධය වර්ධනය වෙලා තිබුණට රජයේ ආයතන තුළ මානව හිමිකම් ගැන තියෙන්නේ විරෝධයක්. ඒ් කාරණාව ජනතාවගේ ඕනෑ එපාකම් විසඳා ගැනීමේදී ගැටලුවක් වෙලා තියෙනවා. මෙය විසඳීමට මානව හිමිකම් පිළිබඳ ගැටලු හඳුනා ගැනීම ඉතා වැදගත්.
මානව හිමිකම් කඩවීම් ගැන 2015 ජනාධිපතිවරණයට පෙර ලංකාවට එල්ල වූ චෝදනා තවමත් වලංගුද?
ඒ චෝදනා මුළුමනින්ම වලංගුයි. මානව හිමිකම් කඩවීම්වලින් ඇති කළ බිය ඉතා ගැඹුරින් තවමත් ජනතාව තුළ පවතිනවා. විශාල පරිමාණයෙන් බලහත්කාරයෙන් කළ අතුරුදහන් කිරීම් පිළිබඳව සැලකුවොත් ශ්‍රී ලංකාව වැඩිපුර එම වරද කර තිබෙනවා. මෙම වරද පිළිබඳ පිළිගැනීමක් රජයේ සංස්ථා, ආගමික නායකයන්, බුද්ධිමත් කණ්ඩායම්වලින් සිදු වුණේ නෑ. මිනිස්සු මරා දැමීම සෑම සංස්කෘතියක් තුළම සලකන්නේ විශාල වරදක් හැටියට. ඒත් සාමාන්‍ය මාධ්‍යකරුවකු වුණු පෝද්දල ජයන්ත වැඩ ඇරිලා ගෙදර යද්දි වාහනයක දාගෙන ගිහින් කකුලක් කැඩුවා. ඊට පස්සේ රැවුල කපලා කටේ දමලා මළා කියලා හිතලා ඒ මනුස්සයව වීසිකරලා දාලා ගියා. ඔහු යෙදිලා හිටියේ ඔහුගේ වෘත්තියේ. මේවා මොනතරම් ම්ලේච්ඡ ක්‍රියාද? මේවා මේ රටට ලොකු තුවාලයක් ගෙන ආවා. මෙය වරදක් යැයි සමාජය තුළ පිළිගැනීමකට ලක් කරලා ඒ ගැන ගොඩනැඟුණු මහජන මතයක් හදන්න සමාජයක් හැටියට අපට බැරිවෙලා තියෙනවා. රජයට බල කරන්න පුළුවන් තත්ත්වයක් ජනතා ව්‍යාපාරවල ඇති වී නැහැ. 2015ට පසුව ඇති වූ එකම සාධනීය දේ වුණේ තිබුණු තත්ත්වයට වඩා දරුණු තත්ත්වයක් ඇති වීම වළක්වා ගන්නට ජනතාව ඒ අවස්ථාවේ මැදිහත් වුණා. 2015 ජයග්‍රහණය හැබෑ ජයග්‍රහණයක්. නමුත් එහි ප්‍රතිඵල නිසි ලෙස නෙළා ගන්නට බැරි වුණේ ජනතාව තමන් පත් කර ගත් ආණ්ඩුවට බල කරන්නේ නැති නිසා.
මෙම චෝදනාවලින් නිදහස් වීමට නම් ශ්‍රී ලංකාව කළ යුත්තේ කුමක් කියාද ඔබ සිතන්නේ?
මුලින්ම වෙනස් වෙන්න ඕන ලංකාවේ සමාජය. පිටරටින් එන චෝදනා වලංගු වෙන්නේ රට ඇතුළේ මේවා විසඳාගන්න ශක්තියක් ජනතාවට නැති තාක් විතරයි. අපි අපිටම චෝදනා කරගන්න ඕන. වැරදි කරන අයට හිමි විය යුතු සමාජ අගෞරවය සහ එම වැරදි පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය සඳහා රට තුළ සම්ප්රදායක් හදනවා නම් අපිටම අපේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්..
මරණ දඬුවම අහෝසි කිරීමට පෙර කළ යුත්තේ කුමක්ද යන්න පසුගිය දිනක ඔබ අවධාරණය කර තිබුණා?
මරණීය දණ්ඩනය අවශ්‍යයි කියන එක මම කොහොමටවත් පිළිගන්නේ නැහැ. වරදට දඬුවමක් අවශ්‍යයි. දඬුවම විශාලද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නෙ. එම දඬුවම වරදට එරෙහිව ක්ෂණයෙන් සිද්ධ විය යුතුයි. වරද ගැන බය ඇති වූ විට මරණ දඬුවම අවශ්‍ය වෙන්නේ නෑ. දඬුවම් ඉක්මන් කිරීමයි වැදගත්. ඒ බය මිනිස්සු තුළ තියෙනවා නම් ඒ ක්‍රියාව නවතිනවා. අවුරුදු ගණනක් වරදකින් බේරී ඉන්න පුළුවන් බව දැනුනම මිනිස්සු වරදට පෙලඹීම තමයි ලෝක ස්වභාවය.
අපරාධකරුවන් දේශපාලනඥයන් වීම වැළැක්වීමටත් දේශපාලනඥයන් මහා අපරාධවලට පෙලඹීම වැළැක්වීමටත් කළ යුත්තේ කුමක්ද?
යුක්තිය පසිඳලන සංස්ථාවලට බාධා කිරීමට දේශපාලනඥයන් කරන උත්සාහය බරපතල දඬුවමට යටත් කළ යුතුයි. ඒක ලෝකයේ බොහෝ තැන්වලත් සිදුවෙනවා. මේ තත්ත්වය හැදුවොත් දේශපාලනඥයො තමන්ගේ නිලය පවා නැති වෙන්න පුළුවන් කියලා බය වෙනවා. උදාහරණ හැටියට ඇෙමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, රිචඩ් නික්සන් වැන්නන්ගේ සිදුවීම් ගන්න පුළුවන්. ලංකාවේ මහජනයාට නීතිය ගැන අවශ්‍යතාවක් නෑ. හැමකෙනාම බලන්නේ තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් පගාවක් දීලා බේරෙන්න. ඒ අය තමන්ගේ පවුල සහ දේපළ දියුණු කරගන්න එන්නේ. මේ නින්දාසහගත වැඩවල දේශපාලනඥයන් නියැළෙන එකට වග කියන්න ඕනෙ ජනතාවම තමයි. හොරුන්ට හොරකම් කරන්න, අපරාධකාරයන්ට ඉහළට එන්න අපි තත්ත්වය හදලා දීලා තියෙනවා.
ජාතිය, ආගම හෝ කුලය හුවා දක්වමින් මිනිසුන්ට චෝදනා එල්ල කිරීම මානව හිමිකම් කඩකිරීමක් නේද?
පැහැදිලිවම. එය මානව හිමිකම් කඩකිරීමක්. එහෙම වෙන්නේ සමාජයක් බොහොම පහත් තත්ත්වයට වැටුණම. කාගෙවත් ආගම අපට වැඩක් නෑ. එයාගේ ආගම එයාට ඇදහීමට ඉඩ හැරීම බුද්ධිමත් ක්‍රමයක්. ජාතියත් ඒ වගේ දෙයක්. කුලයත් සමාජයේ වැරදි සංවිධානයක්. ඒක ලංකාවට ඇතුළු වුණා. සිංහල සමාජයත් දෙමළ සමාජයත් කුලය ගැන දරුණු මතවාදයන් තියෙන කොටස්. ඒක වෙනස් වුණේ යටත් විජිත කාලයේ. යටත් විජිතවාදීන්ගේ සංස්කෘතියේ තිබුණු සමානාත්මතාව කියන මුල් අදහස ගෙනාවත් රටේ තිබුණු මානසික තත්ත්වය බිඳින්න ඒකෙන් බැරි වුණා. එය මානව හිමිකම් නොවේ මනුෂ්‍යත්වය කඩකිරීමක්. මනුෂ්‍යත්වය නැති තැන මානව හිමිකම් තියෙන්න බෑ. ඒ නිසා තමන්ගේ අසල්වැසියා, රටේ අනික් පුරවැසියන් හා සංස්කෘතීන්ට ඇති බාධා පිළිබඳ ජනගත කරන්න අවශ්‍යයි. පටු මානසිකත්වය හැදීම බුද්ධිමය වශයෙන් තේරුමක් නැති වැඩක්.
ජාතිවාදය, කුලවාදය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවෙන් ඈත් කිරීම යනාදියෙන් පහළටම වැටුණු මිනිහා බලන්නේ තමුන් ජීවත් වෙන හැටි ගැන. දුප්පත් මිනිහා සමාජය අන්තිම නරක තැනක් හැටියට දැකලා ඒකෙන් බේරිලා ඉන්න බලන්නේ. මේ රටේ මිනිස්සුන්ට වඩා වැදගත් කන්න තියෙන එකද? අධ්‍යාපන අයිතියද? සෞඛ්‍ය පහසුකම්ද? පාරවල් හදාගන්න එකද? ඉක්මනින් රැකියාවට ගොස් ඉක්මනින් නිවසට ඒමද? රටේ ජල මාර්ග දූෂණය නොවීමද? මා සිටින හොංකොංහි ‘උඹ මොන ආගමේද’ කියා අහන්නේ නෑ; කොන් කරන්නේ නෑ. නැතිබැරිකම වැඩි වෙද්දි ඒ වගේ මානසික තත්ත්වයන් ඇති වීම සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ට හරි ආඩම්බරයක් හදාගන්න බැරි තැන පුහු ආඩම්බරයක් හදා ගන්නවා.
ආගමික නායකයන්ට මානව හිමිකම් නොතේරීම ලංකාවේ ලොකුම ප්‍රශ්නයක්. ආගම කියන එක දාර්ශනිකව දකිනවා නම් ඒ තමයි පුළුල්ම හා ගැඹුරුම අවබෝධය. මහා පරිමාණයෙන් අතුරුදන්වීම කියන්නේ ලංකාවේ හැම ආගමක්ම ලැජ්ජා විය යුතු දෙයක්. ආගමික නායකයකුට පුළුවන්ද කොහේ හරි ගිහිල්ලා මෙච්චර අතුරුදන් වෙලා තියෙනවා කියලා කියන්න? ආගම කියන්නේ කරුණාව, දයාව හා මෛත්‍රිය. ආගම අදහන නායකයන් ඇති වෙනවා නම් ඒක සුබ ලකුණක්. ඒත් ඔවුන් ලංකාව තුළ අතුරුදන්වීම් වෙන්න ඇරලා අපේ දේවලට ඇඟිලි ගහන්න එපා කියලා ජාත්‍යන්තරයට කියනවා නම් ඒක තේරුමක් නැති දෙයක්.
ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් – කූගන් වැනි චරිත අතුරුදන් කරවීම වැනි කාරණා ගැන විසඳුම් නැති වීම මානව හිමිකම්වලින් ඈතට යෑමක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිද?
අපි කතා කරන්නේ එක් ලක්ෂයක් වූ මිනිසුන් ගැන. ඔය කියන පුද්ගලයන් නිසා මේ තත්ත්වය ප්‍රසිද්ධියට පත් වුණා. මේ සා ප්‍රමාණයක බලයෙන් අතුරුදන්වීම් කරද්දි මානව හිමිකම් දියුණු වෙන්නේ කොහොමද? එක්නැලිගොඩ, ලලිත් – කූගන් වැනි අතුරුදන්වූවන්ගේ සිද්ධිවලට සාමාන්‍ය ජනතාව සහභාගි නොවෙන නිසා දේශපාලනඥයන් මතුපිටින් සෙල්ලම් කරනවා. එක්නැලිගොඩ ආරක්ෂා කළ යුතුව තිබුණේ කවුරුත් නෙවෙයි ජනතාව. ඒක සිද්ධ වූ දිනයේ ජනතාව විශාල ප්‍රමාණයක් එළියට බැස්සානම් අද මෙහෙම වෙන්නේ නෑ. අතුරුදන් කරවීම් කියන්නේ ලංකාවේ තියෙන විශාලම ඛේදවාචකයක්.
මානව හිමිකම් පාසල් විෂයක් කළහොත් මේ තත්ත්වයට විසඳුමක් ලැබේවිද?
ඒක අත්‍යවශ්‍යයෙන්ම විය යුතු දෙයක්. ඉස්සර තිබුණා ප්රජාචාරය කියලා විෂයක්. ඉන් ඉගැන්නුවේ මිනිසුන්ගේ යුතුකම් පිළිබඳව. ඒක පුළුල් කරනවා වෙනුවට නැති කර දමා තිබෙනවා. ආණ්ඩුක්‍රම පිළිබඳව පවතින විවිධ දර්ශන මත තමයි විවිධ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදිලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ වගේ කාරණා ගැන දැනුම පොඩි කාලේ ඉඳන්ම දෙන්න ඕනේ.
