වසරක් තුළදී මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමුන් හා තරුණයින් 9,105ක් අත්අඩංගුවට!

2025 ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා දිවයින පුරා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී වයස අවුරුදු 8ත් 21ත් අතර ළමුන් හා තරුණ තරුණියන් 9,105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 8ත් 14ත් අතර කුඩා ළමුන් 11 දෙනෙකුද සිටීම විශේෂයෙන් කනගාටුවට කරුණක් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි ළමුන් සහ තරුණයින් 8,932 දෙනෙකු සිටින අතර, තරුණියන් 173 දෙනෙකුද ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ලෝක ළමා දිනය සැමරෙන අවස්ථාවක මෙවැනි සංඛ්‍යාලේඛන වාර්තා වීම සමාජයේ අවධානයට ලක්විය යුතු කරුණක් බවද ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන් කුඩා වයසේ දරුවන් පවා මත්ද්‍රව්‍ය ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් භාරයට පත්වීම, දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම සඳහා පවුල, පාසල සහ සමාජය එක්ව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

Social Sharing
නවතම පුවත්