සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ පෞද්ගලිකත්වයට දැඩි තර්ජනයක්!

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ආදායම් උපයා ගැනීමට වැඩි පිරිසක් පෙළඹීමත් සමඟ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ ප්‍රවණතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙලෙස දරුවන් සම්බන්ධ තොරතුරු අන්තර්ජාලයට එක් කිරීම හේතුවෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට මෙන්ම ආරක්ෂාවට ද බරපතළ තර්ජන එල්ල විය හැකි බවයි.

මව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ අවසරය ඇතිව හෝ නොමැතිව දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය වෙත එක් කිරීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම, ඔවුන්ගේ විනෝදාත්මක ක්‍රියාකාරකම් බෙදාගැනීම හෝ ඔවුන්ගේ ජනප්‍රියත්වය හරහා ආදායම් උපයා ගැනීමේ අරමුණින් මෙවැනි අන්තර්ගත නිර්මාණය කෙරෙන අවස්ථා දක්නට ලැබේ.

එවැනි වීඩියෝ සහ ඡායාරූප විවිධ පුද්ගලයන් හෝ ආයතන විසින් වාණිජ අරමුණු සඳහා නැවත භාවිත කිරීමේ අවදානමක් ද පවතින බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

විශේෂයෙන්ම දරුවන්ගේ දෛනික ජීවිතය පිළිබඳව නිර්මාණය කරන Vlog සහ අනෙකුත් වීඩියෝ හරහා ඔවුන්ගේ පාසල, නිවස, ගමන් බිමන්, දෛනික චර්යාවන් සහ පවුලේ තොරතුරු වැනි පෞද්ගලික කරුණු අනාවරණය විය හැකිය. එවැනි තොරතුරු බාහිර පාර්ශ්වයන් අතට පත්වීම දරුවන්ගේ ආරක්ෂාවට සෘජුවම බලපෑම් කළ හැකි බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට අමතරව, අන්තර්ජාලයට එක් කරන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කර වෙනස් කිරීමේ අවදානම ද වර්තමානයේ බරපතළ ගැටලුවක් වී තිබේ. විශේෂයෙන්ම එම දත්ත භාවිත කර දරුවන් සම්බන්ධ ව්‍යාජ හෝ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ හැකියාව හේතුවෙන් දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසත්, දරුවන් සම්බන්ධ ඡායාරූප, වීඩියෝ සහ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට එක් කිරීමට පෙර එහි දිගුකාලීන බලපෑම් පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මව්පියන්, භාරකරුවන් සහ සමස්ත සමාජයෙන් ඉල්ලා සිටියි.

Social Sharing
නවතම පුවත්