ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණවලට සහාය දක්වන බව අමාත්‍ය විජිත ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු වන බවයි. ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එහි අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත්, සමකාලීන ගෝලීය යථාර්ථයන් පිළිබිඹු කරමින් නැගී එන ජාත්‍යන්තර අභියෝගවලට මුහුණදීම සඳහා එක්සත් ජාතීන්ගේ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත්කමත් ඔහු අවධාරණය කළේය.

එසේම, පුද්ගලයෙකුගේ පසුබිම හෝ සමාජ තත්ත්වය නොසලකා කිසිදු බියක් හෝ පක්ෂාග්‍රාහීත්වයකින් තොරව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා, දේශපාලන මැදිහත්වීම්වලින් තොරව විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව පෙන්වා දුන්නේය. අල්ලස් හා දූෂණ විමර්ශනය සහ නඩු පැවරීමට වගකිව යුතු ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, පසුගිය වසර දෙක පුරාවටම සියලු ආකාරයේ වර්ගවාදය සහ ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරයේ නොසැලී කටයුතු කළ බව ද සඳහන් කළේය.

තවද, ශ්‍රී ලංකාව මේ වන විට සර්ව ආර්ථික ස්ථාවරත්වයක් යළි ස්ථාපිත කර ගැනීමට සමත්ව ඇති බවත්, ලෝක බැංකුව විසින් ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් ලෙස නැවත වර්ගීකරණය කර ඇති අතර ශ්‍රේණිගත කිරීම් ආයතන ද මෙම ධනාත්මක ප්‍රවණතාව හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසීය. බටහිර ආසියාවේ පවතින ගැටුම් සහ ඒ හරහා ඇතිවී තිබෙන බලපෑම පිළිබඳව ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරන අතර, ජාත්‍යන්තර මානූෂීය නීතිය ඇතුළු ජාත්‍යන්තර නීතිය සියලු පාර්ශ්වයන් විසින් පිළිපැදිය යුතු බවත් ගැටුම් නිරාකරණයට ඇති එකම ප්‍රායෝගික මග සාකච්ඡා මාර්ගය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Social Sharing
නවතම පුවත්