
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (Protection of the State from Terrorism Act – PSTA) ලෙස නම් කර ඇති එම පනත හඳුන්වා දුන් අවස්ථාවේ සිට ම සමාජයේ ඇතැම් පාර්ශව තුළින් විරෝධයක් එල්ල වූ අතර රජය එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගැසට් පත්‍රයේ පළ කර තිබේ.
“ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද; ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා ජන රජයට අයත් දේශය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද; යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්රිත වෙනත් යම් වරදක් සිදු කර ඇත්තා වූ යම් තැනැත්තෙකු අනාවරණය කර ගැනීම, හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තැබීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.” යනුවෙන් පනත් කෙටුම්පතේ දැක්වේ.
පනතට අදාළව වරදකරුවන් වන්නේ කවුද?
ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය තුළදී හෝ ඉන් පිටතදී මේ පනත යටතේ වන වරදක් සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ යම් පුරවැසියෙකු මේ පනත යටතේ වන වරදක් සිදු කරනු ලබන තැනැත්තෙකු ලෙස සලකයි.
ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් හෝ සිදු කරනු ලබන යම් තැනැත්තෙකු, ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුළ දී හෝ එයට ඉහළින් සිදු කරනු ලබන යම් තැනැත්තෙකු, ශ්‍රී ලංකාවේ ගුවන් තලයෙහි සිදු කරනු ලබන යම් තැනැත්තෙකු සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද හෝ ශ්‍රී ලංකා රජයට අයත් හෝ ශ්‍රී ලංකා රජය විසින් භාවිත කරනු ලබන ගුවන් යානයක හෝ යාත්‍රාවක සිට හෝ එබඳු ගුවන් යානයක් හෝ යාත්‍රාවක් සම්බන්ධයෙන් හෝ සිදු කරනු ලබන යම් තැනැත්තෙකු මෙම පනත යටතේ වරදක් සිදු කරයි.
තව ද, ශ්‍රී ලංකා ජනරජයේ දේශීය ජල තීරය සහ ගුවන් තලය ඇතුළුව ශ්‍රී ලංකා ජනරජයේ දේශය තුළ යම් ගුවන් යානයක හෝ යාත්‍රාවක සිට හෝ එබඳු ගුවන් යානයක් හෝ යාත්‍රාවක් සම්බන්ධයෙන් හෝ සිදු කරනු ලබන යම් තැනැත්තෙකු, ශ්‍රී ලංකාවේ රාජ්‍ය දූත මණ්ඩලයක හෝ කොන්සල් දූත මණ්ඩලයක පරිශ්‍රය තුළදී හෝ එවැනි පරිශ්‍රයක් සම්බන්ධයෙන් හෝ ශ්‍රී ලංකාවේ කොන්සල් කාර්යාලයක් සම්බන්ධයෙන් හෝ එකී රාජ්‍ය දූත මණ්ඩලයේ හෝ කොන්සල් දූත මණ්ඩලයේ ප්‍රධානියාගේ පදිංචි ස්ථානය තුළ හෝ එම රාජ්‍ය දූත මණ්ඩලයේ හෝ කොන්සල් දූත මණ්ඩලයේ නිලධරයකුගේ හෝ එහි වෙනත් සේවානියුක්තයෙකුගේ පදිංචි ස්ථානය තුළදී, සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් හෝ සිදු කරනු ලබන යම් තැනැත්තෙකු මෙන් ම ලංකා රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටා ඇති යම් කාර්යාල පරිශ්‍රයක් තුළදී හෝ එම පරිශ්‍රය සම්බන්ධයෙන් හෝ එවැනි ව්‍යවස්ථාපිත මණ්ඩලයක යම් සේවානියුක්තයෙකුගේ පදිංචි ස්ථානය තුළදී සම්පූර්ණයෙන් ම හෝ ඉන් කොටසක් හෝ සිදු කරනු ලබන යම් තැනැත්තෙකු මෙම පනත අනුව වැරදිකරුවෙකු වේ.
ජාත්‍යන්තර සාමය ආරක්ෂා කිරීමේ හෝ නියාමනය කිරීමේ මෙහෙවරක යෙදී සිටින පුරවැසියෙකු ඇතුළුව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු සම්බන්ධයෙන් හෝ රාජ්‍යයට අයත් යම් දේපළක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය තුළදී හෝ ඉන් පිටතදී සිදු කරනු ලබන යම් තැනැත්තෙකු වැරදිකරුවෙකු කිරීමට මෙම පනතින් බලය ලබා දී තිබේ.
එමෙන් ම, පනත් කෙටුම් පතේ දක්වා ඇති පරිදි දේශපාලන හෝ මතවාදීය අරමුණක් ප්‍රවර්ධනය කිරීම සඳහා මහජනතාව තුළ හෝ තැනැත්තන් කණ්ඩායමක් තුළ භීෂණකාරී තත්ත්වයක් ඇති කිරීමේ හෝ යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් වෙත අයුතු ලෙස බල කිරීමේ කාර්යය සඳහා, (2) වන උපවගන්තියේ නිශ්චිතව දක්වා ඇති යම් ප්‍රතිඵලයක් ඇති කරනු ලබන යම් ක්‍රියාවක් චේතනාන්විතව හෝ දැන දැන ම සිදු කරනු ලබන යම් තැනැත්තෙක් ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කරයි.
යම් තැනැත්තෙකුගේ මරණය සිදු කිරීම, බරපතළ තුවාල සිදු කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් ග්‍රාහණයට ගැනීම වැනි ජීවිත හෝ දේපළවලට කරනු ලබන හානි ගණනාවක් සිදු කිරීම පනත යටතේ වරදක් වේ.
ජීවිතයකට හෝ දේපළකට හානි කිරීම මෙන් ම මෙම පනත යටතේ වරදක් කරනු ලබන තැනැත්තෙකුගේ ක්‍රියාවක අදාළ ප්‍රතිඵල ද අර්ථ දක්වමින් ඒවා ත්‍රස්තවාදය සඳහා වූ වැරදි ලෙස සඳහන් කර ඇත.
පනත නම් කර ඇති වැරදිවලට දඬුවම් මොනවා ද?
පනතේ සඳහන් ත්‍රස්තවාදය සඳහා වූ වරදක් සම්බන්ධව මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමක් දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමට මෙම පනතින් ප්‍රතිපාදන සලසා දී තිබේ.
පනතේ දක්වා තිබෙන වගන්ති කිහිපයක දක්වා ඇත්තේ, එම වැරදිවලට මහාධිකරණය විසින් වරදකරුවෙකු කරනු ලැබූ විට අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන විස්සක් නොඉක්මන දඩයකට යටත් කිරීමට හැකි බව ය.
මෙම පනතේ 3 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ඒ) ඡේදයේ නිශ්චිතව දක්වා ඇති වරදක් සිදු කරනු ලබන යම් තැනැත්තෙකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට, අදාළ ප්රඥප්තියේ නියම කරනු ලැබ ඇති බන්ධනාගාරගත කිරීමට ම, දඩයට ම හෝ එම බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය.
එසේ වුව ද, එම ප්රඥප්තිය යටතේ එම වරද සඳහා මරණීය දණ්ඩනය නියම කර ඇති අවස්ථාවකදී එම දණ්ඩනය, ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමක් දක්වා දීර්ඝ විය හැකි බන්ධනාගාරගත කිරීමක් ලෙස සලකනු ලැබිය යුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.
වැරදි කිරීමට තැත් කිරීම, අනුබල දීම හෝ කුමන්ත්‍රණයට ලැබෙන දඬුවම්
ත්‍රස්තවාදය සම්බන්ධ වැරදි සිදු කිරීමට, ඊට උත්සහ කිරීමට යනාදී වැරදි සඳහා වූ දණ්ඩනයන් ද පනත් කෙටුම් පතේ සඳහන් කර තිබේ.
“3 වන වගන්තිය යටතේ ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කිරීමට තැත් කරනු ලබන, අනුබල දෙනු ලබන හෝ කුමන්ත්‍රණය කරනු ලබන හෝ 3 වන වගන්තිය යටතේ වරදක් සිදු කිරීමට සූදානමින් යම් ක්‍රියාවක් කරනු ලබන යම් තැනැත්තකු විසින්, එම තැත් කිරීමේ, අනුබල දීමේ, කුමන්ත්‍රණය කිරීමේ හෝ සූදානම් වීමේ ප්‍රතිඵලයක් ලෙස 3 වන වගන්තිය යටතේ ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කරනු ලැබ ඇත්නම් එම තැනැත්තා ත්‍රස්තවාදය පිළිබඳ වරද සඳහා පනවන ලද දණ්ඩනයට ම යටත් විය යුතු ය.”
තැත් කිරීමේ, අනුබල දීමේ, කුමන්ත්‍රණය කිරීමේ හෝ සූදානම් වීමේ ප්‍රතිඵලයක් ලෙස 3 වන වගන්තිය යටතේ ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කරනු ලැබ නොමැති නම්, එම තැනැත්තා, මහාධිකරණ විසින් වරදකරු කරනු ලැබූ විට, අවුරුදු පහළොවක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන පහළොවක් නොඉක්මවන දඩයකට යටතේ කිරීමේ හැකියාව පවතී.
තහනම් කරන ලද සංවිධානයක් ආශ්රිත වැරදි මොනවා ද?
මෙම පනත යටතේ තහනම් කර ඇති සංවිධානයකට ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී සම්බන්ධ වීම හෝ තහනම් කරන ලද සංවිධානයකට තැනැත්තෙකු බඳවා ගැනීම වරදකි.
තහනම් කරන ලද සංවිධානයකට අරමුදල්, මූල්‍ය සේවා, දේපළ, උපකරණ, පුහුණුව සැපයීම, සංවිධානය සඳහා සහය හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර හෝ සම්පත් සපයනු ලබන හෝ තහනම් කරන ලද සංවිධානයක යම් කටයුත්තක් සංවිධානය කරනු ලබන, එවැනි කටයුත්තකට පහසුකම් සලස්වනු ලබන, එවැනි කටයුත්තකට සහභාගි වනු ලබන හෝ තහනම් කරන ලද සංවිධානයක් මෙහෙයවනු ලබන තැනැත්තෙකු මෙම පනත යටතේ වරදක් සිදු කරයි.
එසේ වුව ද, ද්‍රව්‍යමය ආධාර හෝ ක්‍රියාකාරී සහභාගීත්වය සැපයීමෙන් තොරව, හුදෙක් යම් මතයක්, විශ්වාසය හෝ අනුකම්පාව ප්‍රකාශ කිරීම හෝ අදහස් පළ කිරීමේ, සමාගමයේ හෝ රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය සාමකාමීව භුක්ති විඳීම වරදක් සංස්ථාපනය කරනු නොලබ යි.
තව ද, පනත් කෙටුම්පතේ දක්වා ඇති පරිදි මෙම උපවගන්තියේ කිසිවක්, නීතිඥවරයෙකු ස්වකීය වෘත්තීමය කාර්යයන් නීතියට අනුකූලව ඉටු කිරීම සීමා කරන ලෙස තේරුම් ගනු නොලැබිය යුතු ය.
පනත යටතේ වරදකරුවෙකු වන තැනැත්තෙකුට රැකවරණය දීම, සිරභාරයට හෝ අත්අඩංගුවට ගැනීම අයුතු ලෙස වළකන, ඊට අවහිර කරන හෝ මැදිහත් වන තැනැත්තෙකු වරදක් කරයි.
මීට අමතරව ත්‍රස්තවාදය සඳහා පෙළඹවීම, පෙළඹවීමේ චේතනාව හෝ දැනුම ඇති ත්‍රස්තවාදී ප්‍රකාශන පළ කිරීම හෝ බෙදා හැරීම, එවැනි වචන කතා කිරීම හෝ යම් සංඥාවක් හෝ දෘශ්‍ය නිරූපණය වැනි වැරදි ගණනාවක් ද මෙම පනතේ දක්වා ඇත.
“පත්‍ර කලාව, අධ්‍යයන හෝ විද්‍යාත්මක පර්යේෂණ, අධ්‍යාපනය, කලාත්මක ප්රකාශනය, නඩු කටයුතු ඇතුළු නීත්‍යනුකූල කාර්යයක් සඳහා යම් ප්රකාශනයක් සද්භාවයෙන් යුතුව එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවේශය හෝ ප්‍රචාරණය නැතහොත් මහජන යහපත පිණිස තොරතුරු ප්‍රචාරණ සඳහා මේ වගන්තියේ කිසිවක් අදාළ නොවිය යුතු ය,” යනුවෙන් ද පනතේ සඳහන් කර තිබේ.
ත්‍රස්තවාදය සඳහා උපදෙස් හා පුහුණුව ලබා දීම
ත්‍රස්තවාදය සඳහා උපදෙස් හෝ පුහුණුව ලබා දීම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත අනුව වරදකි.
ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය හෝ රසායනික, ජීව විද්‍යාත්මක හෝ න්‍යෂ්ටික ආයුධ සැකසීම හෝ භාවිත කිරීම හෝ ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කිරීමේ කාර්යය සඳහා හෝ ඒ සම්බන්ධයෙන් යම් දෙයක් කිරීම සඳහා වූ යම් ක්‍රම වේදයක් හෝ ශිල්ප ක්‍රමයක් භාවිත කිරීම, සැලසුම් කිරීම හෝ යොදා ගැනීම උපදෙස් හා පුහුණුව යන්නෙන් අදහස් කෙරේ.
එවැනි වැරදි සඳහා මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට ලබා දිය යුත් දඬුවම් සහ දඩය ද පනතේ දක්වා තිබේ.
තොරතුරු සැපයීම පැහැර හැරීම වරදක්
මෙම පනත යටතේ වරදක් කිරීමට සුදානම් වන බවට, තැත් කරන බවට, අනුබල දෙන බවට හෝ කුමන්ත්‍රණය කරන බවට මෙන්ම වෙනත් තැනැත්තෙකු මෙම පනත යටතේ වරදක් කර ඇති බවට තොරතුරු දැන ගෙන එම තොරතුරු සැපයීම පැහැර හැරීම වරදක් වේ.
තවද, ත්‍රස්තවාදය පිළිබඳ වරද හෝ ත්‍රස්තවාදය ආශ්රිත වරදක් සිදු කර ඇති බවට ඔහු දන්නා යම් තැනැත්තකු සිටින ස්ථානය සම්බන්ධයෙන් වන තොරතුරු සන්තකයේ තිබිය දී ඒ තොරතුරු පොලිස් නිලධරයකුට සැපයීම පැහැර හරින හෝ එම පොලිස් නිලධරයාට අසත්‍ය හෝ නොමඟ යවන සුලු තොරතුරු සපයනු ලැබීම ද වරදක් බව පනතේ සඳහන් කර ඇත.
එවැනි වරදක් කරන තැනැත්තෙකු මහාධිකරණය විසින් වැරදිකරු කරනු ලබන විට දී අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගත කිරීමකට හෝ රුපියල් මිලියන හතක් නොඉක්මන දඩයකට හෝ බන්ධනාගාත කිරීම හා දඩය යන දඬුවම් දෙකම ලබා දීමට හැකියාව පවතී.
තොරතුරු සැපයීම පැහැර හැරීම සඳහා සාධාරණ හේතුවක් ඇති බව ඔප්පු කිරීම, එවැනි වරදකට චෝදනා ලැබූ තැනැත්තෙකු සඳහා විත්ති වාචකයක් විය යුතු අතර එවැනි සාධාරණ හේතුවකට නීත්‍යනුකූලව ආරක්ෂා කරන ලද තොරතුරු, වෘත්තීයමය රහස්‍යභාවය මගින් ආවරණය වන තොරතුරු සහ ස්වයං අපරාධරෝපක සාක්ෂි බවට පත්වන තොරතුරු සැපයීම ඇතුළත් වේ.
එමෙන් ම, මෙම පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම යනාදි වැරදි කිහිපයක් ද පනතේ සඳහන් කර තිබේ.
අත්අඩංගුවට ගැනීමේදී සැකකරුට ලබා දිය යුතු තොරතුරු
අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබන අවස්ථාවේදී සිරභාරයට ගන්නා නිලධරයා විසින් එසේ සිරභාරයට ගනු ලබන සැකකරු වෙත ලබා දිය යුතු තොරතුරු පිළිබඳව ද පනතේ සඳහන් වේ.
ඒ අනුව, අත්අඩංගුවට ගන්නා නිලධාරියාගේ අනන්‍යතාව, සිරභාරයට ගැනීමට හේතුව සහ යම් ලිඛිත නීතියක විධිවිධාන සලස්වා ඇති පරිදි නීතිඥවරයෙකු මුණගැසීම සඳහා සැකකරුට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය යුතු ය.
අදාළ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව අතුරින් සැකකරුට අවබෝධ වන කවර හෝ භාෂාවකින් ලබා දීම සඳහා සෑම සාධාරණ පියවරක් ම ගනු ලැබිය යුතු බව ද පනතේ දක්වා තිබේ.
අත්අඩංගුවට ගන්නා වේලාවේදී සැකකරුට එකී තොරතුරු ලබා දීම ප්‍රායෝගික නොවන අවස්ථාවක එකී තොරතුරු එම සැකකරුට අවබෝධ වන යම් භාෂාවකින් ප්‍රායෝගිකව හැකි තාක් ඉක්මනින් ලබා දිය යුතු ය.
අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම සහ ප්‍රශ්න කිරීම මෙන් ම පෞද්ගලිකත්වය කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වමින් කටයුතු කළ යුතු ආකාරය ද පනතේ සඳහන් කර ඇත.
එමෙන් ම, අත්අඩංගුවට ගැනීම පොලිස් නිලධාරියෙකු, සන්නද්ධ හමුදා සමාජිකයෙකු හෝ වෙරළ ආරක්ෂක නිලධාරියෙකු විසින් කරනු ලැබූ විට කළ යුතු කාර්ය පටිපාටිය වෙන වෙන ම පනතේ දැක්වේ.
අත්අඩංගුවට ගත් බව දැනුම් දීම සහ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීම
සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පැය 24කට පෙර ළඟ ම ඥාතියාට දැනුම් දිය යුතු ය.
එසේ දැනුම් දීමට නොහැකි අවස්ථාවක ඒ මන්ද යන්න පිළිබඳව තොරතුරු සටහන් පොතේ සටහනක් ඇතුළත් කළ යුතු වේ. එමෙන් ම සිරභාරයට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත, පොලිස්පතිවරයා හෝ ඔහුගේ බලයලත් නියෝජිතයා වෙත දැනුම් දිය යුතු වේ.
මෙම පනත යටතේ අත්අඩංගුවට ගන්නා තැනැත්තෙකු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමකින් තොරව මුදා හැරීමට නොහැකි අතර මුදා හැරීම සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දිය යුතු ය.
අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු පැය 48ක් පසු නොවන කාලයකදී මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු යැයි පනතේ සඳහන් කර ඇත.
සැකකරු විමර්ශන සඳහා වැඩිදුරටත් දීර්ඝ කරන ලද කාලයක් සඳහා අත්අඩංගුවට තබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ලිඛිතව හේතු වාර්තා කරමින් පැය 24ක් නොඉක්මවන වැඩිදුර කාල සීමාවක් සඳහා එම සැකකරු අත්අඩංගුවේ තබා ගැනීම සඳහා බලය ලබා දීමට පනත අනුව මහේස්ත්රාත්වරයාට හැකියාව පවතී.
රඳවා ගැනීම නියෝග සහ රඳවා ගැනීමේ කාල සීමාව
සැකකරුවෙකු රඳවා ගැනීමේ නියෝග සහ රඳවා තබා ගැනීමේ උපරිම කාල සීමාව මෙන් ම රඳවා ගැනීමේ නියෝග නිකුත් කර ඇති විට ක්‍රියා කළ යුතු ආකාරයත් පනතේ විස්තර කර තිබේ.
පොලිස්පතිවරයා හෝ එම කාර්යය සඳහා පොලිස්පතිවරයා විසින් බලය පවරන ලද නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නිලයට නොඅඩු නිලයක් දරන නිලධාරියෙකු රඳවා ගැනීම සඳහා ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කළ හැකි ය.
සෑම රඳවා තැබීමේ නියමයක් ම වරකට මාස දෙකක් නොඉක්මවන කාල සීමාවක් සඳහා විය යුතු බව මෙන් ම රඳවා ගැනීමේ කාල සීමාව මුල්වරට නියම කරන ලද රඳවා තැබීමේ නියමයේ දිනයේ සිට එක් වසරක් නොඉක්මවිය යුතු වේ.
මාස දෙකක කාලයක් ඉක්මවා සැකකරු රඳවා ගන්නා අවස්ථාවකදී අදාළ නියමය සමග සැකකරු මහාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු ය. රඳවා ගැනීම දීර්ඝ කිරීම සඳහා ආඥාවක් කිරීම පිණිස නීතිපතිවරයා මගින් මහාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතු ය.
රඳවා ගැනීමේ නියමයට අනුව රඳවා ගන්නා සැකකරුවෙකු අවම වශයෙන් දින 14කට වරක් මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු බවත් පනතේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බලයලත් නිලධාරියෙකුට පූර්ව දැනුම් දීමකින් තොරව රඳවා තබන ස්ථානයක් පරීක්ෂා කිරීමට රඳවා තැබීමේ නාම ලේඛන පරීක්ෂා කිරීමට, රඳවා තැබීමේ නියම රඳවා තබන ස්ථානයේ වෙනත් පොත්පත් සහ ලේඛන පරීක්ෂා කිරීමට මෙන් ම සැකකරුවන් සම්මුඛ සාකච්ඡාවකට භාජනය කිරීමට පනතින් බලය ලබා දී ඇත.
සැකකරුවන් ඇප මත මුදා හැරීම
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත අනුව රිමාන්ඩ් භාරයේ තබා ගන්නා ලද සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට මහාධිකරණයට බලය හිමි වේ.
එසේ වුව ද, මේ පනත යටතේ ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීමට සම්බන්ධ හෝ එවැනි වරදක් සිදු කිරීමට අදාළ සැකකරුවෙකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී පමණක්, මහාධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබිය හැකි ය.
යම් සැකකරුවෙකු, ඔහු පළමු වරට රිමාන්ඩ් භාරයට පත් කරන ලද දිනයේ සිට වසරක් ඉක්මවන කාලසීමාවක් සඳහා මේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ තබනු නොලැබිය යුතු බවත් පනතේ සඳහන් වේ.
ස්වාධීන සමාලෝචන කමිටුව
පනත යටතේ රඳවා තැබීමේ නියමයන් සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන සමාලෝචන කමිටුවක් පත් කළ යුතු අතර එය අමාත්‍යවරයා පත් කරනු ලබන සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතුව ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ධූරය දරන ලද තැනැත්තෙකු කමිටුවේ සභාපතිවරයා විය යුතු අතර සෙසු සමාජිකයන් ලෙස අවංකභාවයෙන් යුතු නීතිය, මානව හිමිකම්, රාජ්‍ය පරිපාලනය හෝ ජාතික ආරක්ෂාව යන ක්ෂේත්රයන්හි පළපුරුදු තැනැත්තන් දෙදෙනෙකු විය යුතු ය.
ස්වාධීන සමාලෝචන කමිටුව සතු බලතල සහ කාර්යයන් ගැන ද පනතේ කරුණු දක්වා තිබේ.
(BBC සිංහල)
