නාකොටික් ලොක්කන් 06කට මාරුවීම්!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

මෙම නිලධාරීන් මාරුකර යැවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට මේ වන විටත් පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

රුපියල් කෝටි 1000 කට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පැටවූ කන්ටේනරයක් කොළඹ වරායේ තිබියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගෙන මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ මෙම අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී සිදුවූ අක්‍රමිකතා සහ පැහැර හැරීම් හේතු කරගෙන මෙම උසස් පොලිස් නිලධාරීන්ගේ මාරුවීම ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, එහි අධ්‍යක් ෂවරයා, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ ස්ථානාධිපතිවරයා මෙසේ මාරුකර යැවීමට නියමිතය.

ඊට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශයේ තවත් පහළ ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ද ඉදිරියේදී මාරුකර යැවීමට නියමිතය. මෙම අයිස් කවේනරය අත්අඩංගුවට ගත්තේ පසුගිය අගෝස්තු මාසයේදී ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම අයිස් කන්ටේනරය පිළිබඳව විමර්ශන ක්‍රියාක්ක කිරීම භාරදි තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙතයි.

මත්ද්‍රව්‍ය නාශක අංශය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට සහ අධිකරණයට දැනුම්දි විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත මේ වන විට චෝදනා එල්ල වී තිබෙන්නේ අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ඉතාම මන්දගාමීව සිදුකිරීම සම්බන්ධයෙන්ය.

පාකිස්තානයේ සිට රැගෙන ආ මෙම අයිස් කන්ටේනරය මාසයකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ වරායේ ස්ථානගත කර තිබූ අතර එය රැගෙන ආ ජාවාරම්කරුවන් උත්සාහ කළේ කෙසේ හෝ කන්වෙනරය වරායෙන් පිටමන් කිරීමටය.

එසේ වරායෙන් පිට කිරීමට නොහැකි වූවොත් අයිස් කන්ටේනරය නැවත ප්‍රතිඅපනයනය කිරීමට ජාවාරම්කරුවෝ සැලසුම් කරගෙන සිටියහ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මෙම කට්ටේනරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී පොලිස් මධ්‍යම අපරාධ විර්මශ්න කාර්යාංශය වෙනම් පරීක්ෂණයක් ආරම්භ කළේය.

ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය රේගුවට දැනුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන කන්ටේනරය විවෘත කර එහි තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම 467 ක් අත්අඩංගුවට ගත්තේය.

මෙම අයිස් කන්ටේනරය සම්බන්ධයෙන් පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු ජාවාරම්කරුවන් 07 දෙනෙකු පසුව අක් අඩංගුවට ගන්නා ලදී.

(දිවයින)

Social Sharing
නවතම පුවත්