“මොකක්ද තත්ත්වෙ?” – ලසන්තගේ හඬ යළි ඇසේ!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා පිළිබඳව රේන් වික්‍රමතුංග විසින් රචනා කර ඇති, කසුන් පුස්සෙවෙල විසින් සිංහලයට පරිවර්තනය කරන ලද “නොසැලුණු නොනැමුණු – ලසන්ත” කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 25 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට සමගාමීව, කේ. සංජීව අධ්‍යක්ෂණය කළ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය (Right to Life Human Rights Centre) විසින් නිෂ්පාදනය කළ “And Then They Came for Me” වාර්තා චිත්‍රපටය ද ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මාධ්‍ය භූමිකාව, ඔහුගේ අදහස් සහ ඔහු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සමාජයේ තවමත් පවතින ප්‍රශ්න හා සංවාද පසුබිම් කරගනිමින් මෙම කෘතිය සහ වාර්තා චිත්‍රපටය ඉදිරිපත් කෙරෙන බව සංවිධායකයන් සඳහන් කරයි.

“මොකක්ද තත්ත්වෙ?” යනුවෙන් ලසන්ත වික්‍රමතුංග මහතා විසින් මතු කළ ප්‍රශ්නය අදටත් සමාජයේ විවිධ සංවාදවලදී සිහිපත් වන අතර, ඔහුගේ මාධ්‍ය භාවිතය සහ ඔහුගේ මරණය වටා පවතින නොවිසඳුණු කරුණු පිළිබඳව නැවත අවධානය යොමු කිරීම මෙම අවස්ථාවේ අරමුණක් බවද සඳහන් වේ.

කෘතිය එළිදැක්වීම සහ වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වනදා සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

“නොසැලුණු නොනැමුණු – ලසන්ත” කෘතිය ‘සයුර’ ප්‍රකාශනයකි.

Social Sharing
අවකාශය නවතම