සේරුවිල ජනතාවට පිරිසිදු පානීය ජලය කවදාද?

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව මේ වන විට දැඩි පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

වියළි කලාපයේ ආන්තීකරණයට නතුවූ විශාල ජන ප්‍රජාවක් වාසය කරන සේරුවිල ප්‍රදේශයේ ජනතාවට ජලය සම්බන්ධ ගැටලු අතීතයේ සිටම පැවති අතර, වර්තමානයේ ද එම තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදුව නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 13 සඳහාම පානීය ජලය සපයනු ලබන්නේ ඊචලම්පත්තු, කල්ලරිප්පු ප්‍රදේශයේ පිහිටි ජල ටැංකිය මගිනි. මහවැලි ගංගාවේ ජල මූලාශ්‍රවලින් එම ජල ටැංකිය වෙත ජලය ලබාගෙන පිරිපහදු කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත නළ ජලය සැපයීම සිදුකරනු ලබයි. මෙම ජල සැපයුම් කටයුතු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

කෙසේ වෙතත්, සතියක පමණ කාලයක සිට නළ පද්ධතිය හරහා ලැබෙන ජලය දැඩි ලෙස අපිරිසිදු තත්ත්වයක පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. එම ජලය පානීය කටයුතු සඳහා භාවිත කළ නොහැකි තත්ත්වයක පවතින බැවින් විශාල ජනතාවක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ඔවුහු පවසති.

මෙම තත්ත්වය හේතුවෙන් දෛනික ජීවිතයට මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට ද බලපෑම් එල්ල විය හැකි බැවින්, ගැටලුව කඩිනමින් විසඳීමට බලධාරීන් මැදිහත් විය යුතු බව ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව එම සංවිධානය සහ ජාතික සහයෝගිතා සංවර්ධන පදනම එක්ව මානව හිමිකම් කොමිසම වෙත ද ලිඛිතව පැමිණිලි කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ දන්නා පුද්ගලයෙකු මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.

කෑගල්ල අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0761366919

එසේත් නැතිනම්,

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100

Social Sharing
අවකාශය පුවත්