ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් හේතුවෙන් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබූ බව සඳහන් වේ.

අදාළ පැමිණිල්ල දේශපාලනික අරමුණකින් ඉදිරිපත් කළ ද්වේෂ සහගත පැමිණිල්ලක් බවත්, එම පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කිරීම තුළින් ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර ඇත.

ඒ අනුව, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවිය යුතු බව අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම අදාළ විමර්ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතා විසින් ද පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබේ.

Social Sharing
නවතම පුවත්