
වීරකැටිය ප්‍රදේශයේදී පදනම් විරහිතව පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී, ඔහු සතුව මත්ද්‍රව්‍ය (හෙරොයින්) තිබූ බව පවසමින් අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩුවක් පවරා අධිකරණයට ඉදිරිපත් කළ බවට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියෙකු ඇතුළු නිලධාරීන් පස්දෙනකුට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. මැදමුලන, කිංචිගුනේ ප්‍රදේශයේ පදිංචි යූ. ජේ. ජී. දිල්රුක්ෂි යන අය විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු ආයතන රැසකට මේ වනවිට ලිඛිතව පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට, පසුගිය අගෝස්තු මස 01 වන දින පස්වරු කාලයේ ඇය සහ ඇගේ සැමියා වූ අරුණ රුවන් කුමාර යන දෙදෙනා පූජාවක් පැවැත්වීම සඳහා පලතුරු රැගෙන ඒමට සහ වීරකැටිය ලංකා බැංකුවට යාම සඳහා වීරකැටිය නගරයට පැමිණ ඇත. එහිදී බැංකුව ඉදිරිපිටදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උසස් නිලධාරියකු ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු විසින් අයුක්ති සහගත ලෙස යතුරුපැදියේ ඉඳගෙන සිටි ඇගේ සැමියාට පහරදී බිම දමා, අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති බව ඇය පෙන්වා දෙයි. අනතුරුව ඔහුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් වීරකැටිය පොලිසිය වෙත භාර දී ඇති අතර, වීරකැටිය පොලිසිය විසින් පසුව මොහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඇයගේ සැමියා සතුව එම අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 920ක් සන්තකයේ තිබූ බවට අසත්‍ය චෝදනාවක් මවාපාමින්, 2026.08.02 වන දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර ඇති බව පැමිණිලිකාරිය සඳහන් කරයි. ඇගේ සැමියා කිසිදු නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ නැති, මත්ද්‍රව්‍ය භාවිතයෙන්ද සම්පූර්ණයෙන්ම මිදී සිටි අයෙකු බවද ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මෙම අත්තනෝමතික හා නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නිසි, අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් පවත්වන ලෙසත්, අදාළ ස්ථානයේ සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කර බලා සැමියාට සහ ඇගේ සාක්ෂිකරුවන්ට නිසි ආරක්ෂාව ලබා දෙන ලෙසත් ඇය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. නීතියේ ආධිපත්‍යය රකිමින් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැඩි විනයානුකූල සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ දන්නා පුද්ගලයෙකු මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
හම්බන්තොට අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා
හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය 0769692424
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
