පාතාලය හා සංවිධානාත්මක අපරාධ මැඬලීමට නව පනතක් – PTA වෙනුවට නව නීතිමය රාමුවක්

Cabinet approval for publication in the Government Gazette of the amended Security of Online Systems Act.

මෙරට ක්‍රියාත්මක පාතාලය ඇතුළු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව පනත් කෙටුම්පතක් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි.

මීට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති ආනන්ද විජේපාල සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහත්වරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (07) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි විය.

විවිධ රටවලට පැනගොස් සිටින පාතාල අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමටත්, මෙරට සිටින වෙනත් රටවල අපරාධකරුවන් අදාළ රටවලට භාරදීමටත් හැකිවන පරිදි ජාත්‍යන්තර නීතිමය එකඟතාවන් සහ ද්විපාර්ශ්වික සබඳතා මේ පනත මඟින් ශක්තිමත් කෙරෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට අලුතින් ගෙනඑන මෙම පනතේ නීතිමය කරුණු වැරදි ලෙස යොදා ගනිමින් කිසිවකු අසාධාරණ ආකාරයට රඳවා තබා ගැනීමට ඉඩක් නොමැති බව ද ඔහු පැවසුවේය.

සංවිධානාත්මක අපරාධ රට තුළ සිදුවීම වැළැක්වීම මෙම පනතේ අරමුණ බව පෙන්වා දෙන ඒ මහතා ඒ සඳහා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙමඟින් බලය ලැබෙන බවද ඇමතිවරයා කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (08) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ විජිත හේරත් මහතා,

“දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. එය වෙනස් වියයුතු වෙනවා. ඔවුන් ත්‍රස්තවාදීන් කාණ්ඩයට අයත් වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය සහ පාතාලයට අදාළ වෙන්නේ. ඒ නිසා එවැනි අය රඳවා තබා ගන්න මේ පනතේ ප්‍රතිපාදන තිබෙනවා. විවිධ රටවලට පැන සිටින ලාංකිකයන් යළි ගේන්න ඒ රටවල් උදවු කරනවා. අපේ රටේ එවැනි අයෙක් සිටියොත් ඒ ඒ රටවලට බාර දෙන්න කටයුතු කරනවා. අපේ රටේ රතු වරෙන්තු නිකුත් කළ අය ගෙනවිත් තිබෙනවා. රට තුළ මේ අය අත්අඩංගුවට ගැනීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේ පනත ගේනවා. අපරාධ මැඬපැවැත්වීම අවශ්‍ය වෙනවා. නීතිමය කරුණු පාවිච්චි කර වැරදි ලෙස රඳවා ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට නව පනතක් ගේනවා. ඒ අනුව ඉදිරියේ දී නීතිමය කටයුතු සිදු වෙනවා. මෙය අතීතයට බලපෑම අවශ්‍ය වන්නේ නැහැ. සම්මත වූ දිනයේ සිට ක්‍රියාත්මක වෙනවා.

දැනට තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරලා, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා අලුත් පනතක් ගේන්න රජය කටයුතු කරනවා. මේ කුඩු ජාවාරම්කාරයෝ සහ පාතාල කල්ලි ක්‍රියාකාරීන් කියන්නේ ත්‍රස්තවාදීන් නෙමෙයි. ඒ නිසා ඒ අයට ගැළපෙන විදිහට අර්ථකථනය වෙනස් කරලා, ඔවුන්ව රඳවා තබාගෙන විමර්ශන කරන්න මේ පනතෙන් ඉඩ සලසලා තියෙනවා. හැබැයි මේ නීතිමය කරුණු වැරදි විදිහට පාවිච්චි කරලා කාවවත් අසාධාරණ විදිහට රඳවා ගන්න බැරි වෙන්නත් වගන්ති ඇතුළත් කරලා තියෙනවා. මේ පනත මුලින්ම ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම මහජනතාවටත් ඒ ගැන තමන්ගේ අදහස් දක්වන්න අවස්ථාව ලැබෙනවා.

මේ පනත අතීතයට බලපාන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ, පනත සම්මත වුණාට පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඉන්න අය මේ අලුත් පනත යටතේ සංවිධානාත්මක අපරාධකරුවන් විදිහට පත් වෙනවා.

ඒ වගේම, අවුරුදු 20කට වඩා පරණ අපරාධවලට නඩු දාන්න බැරි නීතිය වෙනස් කරන්න මේ පනතෙන් බැහැ, ඒකට ඉදිරියේ දී වෙනම සංශෝධන ගේන්න ඕනේ. රටින් පැනලා ගිහින් ඉන්න අපරාධකාරයන්ව ආපහු මෙහෙට ගේන්න විවිධ රටවල් එක්ක නීතිමය එකඟතාවන් ඇති කරගෙන තියෙනවා. ඒ අනුව තමයි පහුගිය කාලේ රතු නිවේදන නිකුත් කරලා තිබ්බ සමහර අපරාධකාරයන්ව ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල්වලින් ලංකාවට ආපහු ගෙනත් තියෙන්නේ.

මීට පෙර පැවැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ ත්‍රස්තවාදය යන්න නිවැරදිව නිර්වචනය කර නොතිබීම නිසා විවිධ ගැටලු මතු වුණා. නමුත් මෙම අලුත් පනත මඟින් සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ යනු මොනවා ද යන්න ඉතා පැහැදිලිව අර්ථ දක්වා තිබෙනවා. ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ එම නිශ්චිත අර්ථ නිරූපණයන්ට අනුවයි. පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පිරිස් ත්‍රස්තවාදීන් නොවන නිසා ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සුදුසු නැහැ. එම නිසා, ඔවුන්ගේ අපරාධමය ස්වභාවයට ගැළපෙන පරිදි අර්ථකථනය සම්පූර්ණයෙන්ම වෙනස් කර, එවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රඳවා තබාගෙන කාර්යක්ෂමව විමර්ශන සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම නව පනතින් සලසා දී තිබෙනවා.

මෙම පනතේ ප්‍රධානතම අරමුණ වන්නේ සංවිධානාත්මක අපරාධ රට තුළ සිදුවීම වැළැක්වීමයි. ඒ සඳහා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙමඟින් බලය ලැබෙනවා.

විවිධ රටවලට පැන ගොස් සිටින පාතාල අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමටත්, මෙරට සිටින වෙනත් රටවල අපරාධකරුවන් අදාළ රටවලට භාරදීමටත් හැකිවන පරිදි ජාත්‍යන්තර නීතිමය එකඟතාවන් සහ ද්විපාර්ශ්වික සබඳතා මෙම පනත හරහා ශක්තිමත් කෙරෙනවා. (පසුගිය කාලයේ ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව සහ මැදපෙරදිග රටවලින් අපරාධකරුවන් ලංකාවට ගෙන ඒමට හැකි වූයේ ද මෙවැනි එකඟතාවයන් නිසාය).දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් මෙම නව පනත ක්‍රියාත්මක වීමත් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස වර්ගීකරණය වී නව නීතිමය ක්‍රියාවලියට යොමු කරනු ලබනවා. මෙම පනතේ ඇති නීතිමය කරුණු වැරදි විදිහට පාවිච්චි කරමින් කිසිවකුවත් අසාධාරණ ලෙස රඳවා තබා ගැනීමට ඉඩක් නොලැබෙන පරිදි පාලන වගන්ති ද මෙයට ඇතුළත් කර තිබෙනවා” යැයි පැවසීය.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්