
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හෙවත් NGO නියාමනය කිරීම පිළිබඳ විවාදය අලුත් එකක් නොවේ. එය දශක තුනක යුද්ධය, පශ්චාත් යුද සමය, ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ප්‍රෙව්ශය සහ රාජ්‍ය හා සිවිල් සමාජය අතර සම්බන්ධතාවය යළි නිර්වචනය කිරීමට විවිධ ආණ්ඩු දැරූ උත්සාහයන් සමඟ බැඳී ඇති දිගු ඉතිහාසයකි.
මේ දිනවල යෝජිත “රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත – 2026” පිළිබඳ විවාදයේදී, ඇතැම් පාර්ශ්ව එය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ ආරම්භ කළ ප්‍රතිපත්ති දිගුවක් ලෙස හඳුන්වා දීමට උත්සාහ කරති.
එය මෙම පනත් කෙටුම්පතේ ඉතිහාසය පිළිබඳ නිවැරදි කියවීමක් නොවේ.
කෙටුම්පත ආරම්භ වූයේ කොතැනින්ද?
වර්තමාන පනත් කෙටුම්පත විවිධ ආණ්ඩු යටතේ සංශෝධනය වී පරිණාමය වී ඇති බව සැබෑය. එහෙත් අද නීති සම්පාදනය සඳහා පදනම වී ඇති මුල් කෙටුම්පත සකස් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමටත් පෙර එම කෙටුම්පත රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ගොනු අතර තිබුණි. එබැවින් 2022–2023 කාලය තුළ පැවති සාකච්ඡා යනු ජනාධිපති වික්‍රමසිංහගේ උපදෙස් මත අලුතින් සකස් කළ පනත් කෙටුම්පතක් පිළිබඳ සාකච්ඡා නොව, දැනටමත් පැවති කෙටුම්පතක් පිළිබඳ සාකච්ඡා විය.
2024 මාර්තු 14 වැනිදා ජනාධිපති වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු කළ එක් ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත්ය.
“මට මේක ලැබුණේ දවස් කිහිපයකට කලින්.”
එම ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ මෙම කෙටුම්පත ඔහු විසින් පෞද්ගලිකව ආරම්භ කරන ලද්දක් හෝ ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ සකස් කරන ලද්දක් නොවන බවයි.
එහෙත් මෙහිදී තවත් කරුණක් අවධාරණය කළ යුතුය.
වර්තමානයේ රට ඉදිරියේ ඇති පනත් කෙටුම්පතේ, මීට පෙර සිවිල් සමාජ සංවිධාන සමඟ පැවති සාකච්ඡා වලදී ඉදිරිපත් නොකළ වගන්ති ගණනාවක් ඇතුළත් වී තිබේ.
ඒවා පිළිබඳව පුළුල් මහජන විමර්ශනයක් අවශ්‍යය. එම නව ප්‍රතිපාදන පෙර පැවති උපදේශන ක්‍රියාවලීන්ට ආරෝපණය කිරීමද නිවැරදි නොවේ.
වසර ගණනාවක් පුරා මෙම සාකච්ඡා රැසකට මම පෞද්ගලිකව සහභාගී වී සිටිමි. එබැවින් වර්තමාන විවාදය නිවැරදි ඓතිහාසික පසුබිම තුළ තැබීම අත්‍යාවශ්‍යය.
එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ සිවිල් සමාජය සමඟ දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙවැනිම NGO නීතියක් සම්මත කිරීම කල් දැමූ ආකාරය මට මතකය. සිවිල් සමාජය සමඟ සාකච්ඡා කිරීමට ඔහු සෑම විටම අවකාශ ලබා දුන් අතර, මෙවැනි ස්වභාවයේ නීතිමය රාමුවක් සකස් කරන ලෙස ඔහු කිසිවිටෙකත් නියෝග කළේ නැත.
2009: NGO නියාමනයේ සීමාකාරී ගමන ඇරඹුණු අවස්ථාව
අද අප සාකච්ඡා කරන සීමාකාරී NGO නියාමන ක්‍රියාවලියේ සැබෑ ආරම්භය සොයා බැලිය යුත්තේ 2009 දක්වාය.
එවකට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය NGO නැවත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළේය.
එමෙන්ම NGO සංවිධානවලට සම්මන්ත්රණ හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පෙර පූර්ව අනුමැතිය ලබාගත යුතු බවට පරිපාලන චක්‍රලේඛන නිකුත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ NGO ප්‍රජාව එයට සාමූහිකව විරෝධය දැක්වීය. සිවිල් සමාජ සංවිධාන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මහජන විරෝධතාවක් සංවිධානය කළ අතර, එම සීමා පැනවීමට උත්සාහ කළ චක්‍රලේඛය සංකේතාත්මකව ගිනි තැබූහ.
ඒ සමඟම NGO ලේකම් කාර්යාලයේ නීතිමය පදනම පිළිබඳවද ප්රශ්නය මතු විය. එය පාර්ලිමේන්තු පනතක් මත නොව, ගැසට් නිවේදනයක් මත ක්‍රියාත්මක වූ ආයතනයක් විය.
එම නීතිමය හිඩැස පිරවීම සඳහා පුළුල් නීති සම්පාදනයක් ගෙන ඒමට රජය උත්සාහ කරන බව ඉන් අනතුරුව පැහැදිලි විය.
ගෝඨාභය පාලන සමයේ කෙටුම්පත් ක්‍රියාවලිය
2020 පමණ වන විට, COVID-19 වසංගතය මධ්‍යයේ, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී මෙම නීති සම්පාදන ක්‍රියාවලිය වේගවත් විය.
මුල් කෙටුම්පත්වල පැහැදිලිවම ජාතික ආරක්ෂාව මූලික කරගත් ප්‍රවේශයක් දක්නට ලැබුණි. ඇතැම් NGO සංවිධාන රජ්‍යයේ ස්වෛරීභාවයට එරෙහිව ක්‍රියා කරන බවට චෝදනා කරමින්, ඒවා වඩාත් දැඩි ලෙස නියාමනය කළ යුතු බවට තර්ක කෙරිණි.
මෙම කාලය තුළ ජාත්‍යන්තර පීඩනයද NGO ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට මාරු කිරීමට බලපෑවේය.
එම අවස්ථාවේදී ප්රජාතන්ත්රවාදී අවකාශය හැකිළෙමින් පවතින බවට ප්රමුඛ සිවිල් සමාජ නියෝජිතයන් කිහිපදෙනෙකු එවකට විදේශ අමාත්‍යා ජී.එල්. පීරිස් මහතා වෙතද සිය කනස්සල්ල පළ කළහ.
2022 ආර්ථික අර්බුදයත් සමඟ මෙම නීති සම්පාදනය පිළිබඳ අවධානය තාවකාලිකව වෙනත් කරුණු වෙත යොමු විය. එහෙත් කෙටුම්පත අමාත්‍යාංය සහ NGO ලේකම් කාර්යාලය තුළ පැවතුණි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස නව පාලනයක් පිහිටුවීමෙන් පසු NGO ලේකම් කාර්යාලය නැවත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කෙරිණි.
සිවිල් සමාජය වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව , NGO කටයුතු නීතිය ක්‍රියාත්මක කරන ආරක්ෂක අමාත්‍යාංශයක හෝ මහජන ආරක්ෂාව විෂයයක් ලෙස නොසැලකිය යුතු බවත්, රාජ්‍ය නොවන සංවිධානවලට අදාළ ගැටළු ආරක්ෂක කෝණයකින් පමණක් නොබැලිය යුතු යුතු බව පෙන්වා දෙන ලදී. නව අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමෙන් පසු උපදේශන ක්‍රියාවලිය නැවත ආරම්භ විය.
2023–2024: සිවිල් සමාජය කළ මැදිහත්වීම
2023 සහ 2024 වසරවලදී සිවිල් සමාජ සංවිධාන තනි තනිව මෙන්ම සාමූහිකවද පනත් කෙටුම්පතේ විධිවිධාන රැසකට අභියෝග කරමින් පුළුල් යෝජනා ඉදිරිපත් කළහ.
මේ අතර, මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන වෙතින්ද NGO නියාමනය සඳහා වඩාත් නීතිමය රාමුවක් අවශ්‍ය බවට සැලකිය යුතු පීඩනයක් එල්ල විය.
එවකට NGO ලේකම් කාර්යාලයේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකුද මේ සම්බන්ධයෙන් ලේකම් කාර්යාලයට ඉදිරිපත් වූ හදිසි අවශ්‍යතාවය මෑතකදී ඔහු ප්‍රකාශය කර තිබුණි.
2024 ඔක්තෝබර් 7 වැනිදා සිවිල් සමාජ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡා ඇතුළු උපදේශන ක්‍රියාවලි ගණනාවකදී සිවිල් සමාජය විසින් යෝජනා කළ සංශෝධන කිහිපයක්ද කෙටුම්පතට ඇතුළත් විය.
නමුත් එම ක්‍රියාවලිය සම්පූර්ණ වීමට පෙර රජය වෙනස් විය. ඒ නිසා අද පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පත පෙර කෙටුම්පතේ සරල දිගුවක් ලෙස සැලකිය නොහැකිය.
එහි වඩාත් බරපතළ කනස්සල්ලක් මතු කරන නව ප්‍රතිපාදන ගණනාවක් ඇතුළත් වී තිබේ.
වඩාත්ම කනස්සල්ලට කරුණ: “රජයේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වීම”
මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ යෝජිත 2026 පනත් කෙටුම්පතේ 15(2) වගන්තියයි. එම වගන්තිය අනුව, ලියාපදිංචි සෑම NGO සංවිධානයක්ම ශ්‍රී ලංකාවේ නීතිවලට අනුකූල වීම පමණක් නොව, “රජයේ ප්‍රතිපත්ති සමඟ අනුකූල විය යුතුය.”
මෙය 2024 ඔක්තෝබර් මාසයේ පැවති කෙටුම්පතට වඩා මූලික වෙනසකි.
පෙර කෙටුම්පතේ අවශ්‍ය කර තිබුණේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට හෝ ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයට හානි කරන ක්‍රියාකාරකම්වල නිරත නොවීමය.
නමුත් “නීතියට අනුකූල වීම” සහ “බලයේ සිටින රජයේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වීම” යනු එකම දෙයක් නොවේ.
මෙය ඉතා ගැඹුරු වෙනසකි. සෑම සංවිධානයක්ම රටේ නීතියට අවනත විය යුතුය. ඒ පිළිබඳ විවාදයක් නැත.
එහෙත් බලයේ සිටින කවර රජයක හෝ ප්‍රතිපත්ති සමඟ ස්වාධීන සංවිධාන අනිවාර්යයෙන්ම එකඟ විය යුතු බවට නීතියක් පැනවීමෙන් සිවිල් සමාජයේ මූලික ස්වභාවයම වෙනස් වේ.
NGO සංවිධාන පවතින්නේ රජයට විරුද්ධ වීමට පමණක් නොවේ. අවශ්‍ය අවස්ථාවලදී රජයට සහාය දීමටද ඒවාට හැකිය.
එහෙත් රජයේ ප්‍රතිපත්ති ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අසමත් වන විට, එය ප්‍රශ්න කිරීමට, විවේචනය කිරීමට සහ විකල්ප යෝජනා කිරීමට හැකි ස්වාධීන හඬක් ලෙස සිවිල් සමාජය පැවතිය යුතුය. ප්රජාතන්ත්රවාදී වගවීමේ හරය එයයි.
දඩ මුදල් වැඩි කිරීම සහ “අනුකූලතාව” පිළිබඳ ප්රශ්නය
තවත් වැදගත් වෙනසක් වන්නේ දඬුවම් දැඩි කිරීමයි. පෙර කෙටුම්පතේ උපරිම දඩ මුදල රුපියල් 250,000ක් ලෙස යෝජනා කර තිබූ අතර, වර්තමාන පනත් කෙටුම්පතේ එය රුපියල් මිලියනයක් දක්වා වැඩි කර ඇත.
එවැනි දැඩි දඩ මුදල් සීමිත සම්පත් මත ක්‍රියාත්මක වන කුඩා ප්‍රජා මූලික සංවිධාන සඳහා බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකිය.
අනුකූලතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ප්‍රවේශයද මෙහිදී ප්‍රශ්න කළ යුතුය. ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය මුදල් සැපයීම සහ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් දැනටමත් පුළුල් නීති පද්ධතියක් පවතී.
සාක්ෂි ඇති අවස්ථාවල එවැනි අපරාධ විමර්ශනය කර නඩු පැවරිය යුතුය. එහෙත් පරිපාලනමය අඩුපාඩු සහ බරපතළ මූල්‍ය හෝ අපරාධකාරී ක්‍රියා අතර වෙනස හඳුනා නොගැනීම භයානකය.
බොහෝ කුඩා NGO සංවිධාන ක්‍රියාත්මක වන්නේ සීමිත කාර්ය මණ්ඩලයක් සහ ඉතා සුළු අයවැයක් සමඟය.
වාර්තාවක් ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් සෑම විටම අපරාධකාරී අරමුණක් නිසා සිදුවන්නේ නැත. එය ආයතනයේ සම්පත් හෝ පරිපාලන හැකියාවන්හි සීමාවක් විය හැකිය.
එබැවින් නියාමන ක්‍රමවේදයක් හිතාමතා සිදුකරන මූල්‍ය වංචාව සහ පරිපාලන නොගැළපීම අතර පැහැදිලි වෙනසක් කළ යුතුය. දෙකම එකම දණ්ඩනීය කෝණයකින් බැලීම යුක්තිසහගත නොවේ.
ශ්‍රී ලංකාවට NGO සංවිධාන කළ සේවය අමතක කළ හැකිද?
මෙම විවාදයේදී තවත් වැදගත් කරුණක් අප අමතක නොකළ යුතුය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ඉටු කළ කාර්යභාරයයි.
යුද්ධයෙන් සහ අවතැන්වීමෙන් පීඩාවට පත් ජනතාවට සහාය වූයේ NGO සංවිධාන ය. මානව හිමිකම් උල්ලංඝනයන් ලේඛනගත කළේය. ප්රතිසන්ධානය සඳහා කටයුතු කළේය. කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ශක්තිමත් කළේය. මැතිවරණ නිරීක්ෂණය කළේය. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. පරිසරය ආරක්ෂා කළේය. රාජ්‍ය ආයතනවලට ළඟාවීමට නොහැකි වූ අවදානමට ලක් වූ ප්‍රජාවන් වෙත මානුෂීය ආධාර රැගෙන ගියේය.
මේ සියල්ල සිදු කළේ රජයට විකල්ප රාජ්‍යයක් ලෙස නොව, ප්රජාතන්ත්රවාදී සමාජයක අවශ්‍ය කොටසක් ලෙසය. සිවිල් සමාජය රජය වෙනුවට ක්‍රියා කරන ආයතනයක් නොවේ. එය ක්‍රියාකාරී රාජ්‍යය සතුරෙකුද නොවේ.
සෞඛ්‍ය සම්පන්න ප්රජාතන්ත්රවාදයකට වගකීම් සහිත රාජ්‍ය ආයතන, ස්වාධීන අධිකරණයක්, නිදහස් මාධ්‍යක්, ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් සහ මහජන කටයුතුවලට ක්‍රියාකාරීව සහභාගී වන ශක්තිමත් සිවිල් සමාජයක් අවශ්‍යය.
ජාත්‍යන්තර ප්රමිතීන් අපට පවසන්නේ කුමක්ද?
සංගම් පිහිටුවීමේ නිදහස Freedom of Association ජාත්‍යන්තර මානව හිමිකම් ප්රමිතීන් යටතේ පිළිගත් මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකමකි. රාජ්‍යයන්ට සිවිල් සමාජ සංවිධාන නියාමනය කිරීමට අයිතිය ඇත.
නමුත් එම නියාමනය නිත්‍යානුකූල, අවශ්‍ය, සමානුපාතික සහ වෙනස්කම් නොකරන ස්වභාවයකින් යුක්ත විය යුතුය. ඒ අනුව, ශ්‍රී ලංකාව ඉදිරියේ ඇත්තේ NGO සංවිධාන “නියාමනය කළ යුතුද නැද්ද” යන සරල ප්‍රශ්නයක් නොවේ. මෙය ප්රජාතන්ත්රවාදී අයිතීන් පිළිබද ප්‍රශ්නයක් වන්නේය.
නියාමනය කරන්නේ කුමන අරමුණක් සඳහාද?
එම නියාමනයේ සීමාව කුමක්ද?
එය සිවිල් සමාජයේ ස්වාධීනත්වයට ගරු කරන්නේද?
සහ අවසානයේ, එය ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරනවාද, නැතහොත් දුර්වල කරනවාද?
ශ්‍රී ලංකාවට නව NGO නීතියක් අවශ්‍යය — නමුත් දේශපාලන පාලනයක් සදහා නොවේ
ශ්‍රී ලංකාවට නවීන සහ පැහැදිලි ජාත්‍යන්තර ප්රමිතීන් මත පදනම් වූ නීති රාමුවක් බලගැන්වීම ප්‍රතික්ෂේප කළ නොහැකිය. විනිවිදභාවය, මූල්‍ය වගවීම සහ යහපාලනය සෑම NGO සංවිධානයකින්ම අපේක්ෂා කළ යුතුය.
සිවිල් සමාජයටද තම අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීමේ, මූල්‍ය අඛණ්ඩතාව තහවුරු කිරීමේ, ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සහ මහජන වගවීම තහවුරු කිරීමේ වගකීමක් තිබේ.
එහෙත් මෙහි සීමාවක් තිබිය යුතුය. වගවීම දේශපාලන පාලනයක් බවට පත් වීමට ඉඩ දිය නොහැකිය. රජය අවසන් පනත් කෙටුම්පත පුළුල් මහජන සාකච්ඡාවක් සඳහා ප්‍රසිද්ධ කළ යුතුය. රට පුරා NGO සංවිධාන සමඟ අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් පැවැත්විය යුතුය.
පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්රමිතීන් සමඟ අනුකූලද යන්න විධිමත්ව ඇගයිය යුතුය.
වඩාත් වැදගත් ලෙස, නව නීතිය ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය ශක්තිමත් කරන නීතියක් විය යුතුය, එය දුර්වල කරන නීතියක් නොවිය යුතුය.
අවසානයේ ශක්තිමත් ප්රජාතන්ත්රවාදයක සැබෑ මිනුම වන්නේ ස්වාධීන හඬවල් කොතරම් සාර්ථකව පාලනය කළ හැකිද යන්න නොවේ. එම හඬවල් පැවතීමට ප්රජාතන්ත්රවාදය කොතරම් විශ්වාසයෙන් ඉඩ ලබා දෙන්නේද යන්නයි.
එබැවින් NGO පනත් කෙටුම්පත පිළිබඳ මෙම විවාදය හුදෙක් NGO සංවිධාන නියාමනය කිරීම පිළිබඳ විවාදයක් නොවේ. එය ඊට වඩා ගැඹුරු ප්රශ්නයකි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය, සිවිල් සමාජය සහ ප්රජාතන්ත්රවාදී අනාගත සම්බන්ධතාවය කෙබඳු විය යුතුද යන්න තීරණය කිරීම පිළිබඳ විවාදයකි.
ශක්තිමත් රාජ්‍යයක් යනු විවේචනය කරන හඬවල් නිහඬ කරන රාජ්‍යයක් නොවේ. ශක්තිමත් ප්රජාතන්ත්රවාදයක් යනු විවිධ මත, විවේචන සහ විකල්ප අදහස් පැවතීමට විශ්වාසයෙන් ඉඩ දෙන රාජ්‍යයකි. ශ්‍රී ලංකාව අද තෝරාගත යුත්තේ එම මාර්ගයයි.
– නීතිඥ නිමල්කා ප්‍රනාන්දු
(යහපාලන රජය සමයේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාල උපදේශක කමිටුවේ උපදේශක කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස හා දශක හතරකට වැඩි කාලයක් සිවිල් සමාජ ක්රියාකාරීනියක් ලෙස කටයුතු කරයි)
