
අධිකරණ විනිසුරුවන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති සංශෝධනය මගින් දැනට සිටින විනිසුරුවරුන්ගේද විශ්‍රාම ගන්නා වයස දීර්ඝ වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්වේට් මෙරටට යොමුකළ ලිපියට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීමට සහ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කර ඇති සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිඳු බලපෑමක් එල්ල නොවන බවත් එය විධායකයේ බලපෑමකින් තොරව සිදුවන්නක් බවත් එම ලිපියේ සඳහන් වේ.
මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණවල අධික ලෙස නඩු ගොඩ ගැසීම හා ප්‍රමාදයන් අවම කිරීම මෙන්ම ජනතාවගේ අධිකරණ ප්‍රවේශය තහවුරු කිරීම බවද එහි දැක්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නැංවෙන බවත් අගවිනිසුරුවරයාගේ ධුර කාලය වයස අවුරුදු 67 හෝ පත්වීමේ සිට වසර 6ක් සම්පූර්ණ වීම යන කරුණු දෙකෙන් පළමුව සිදුවන අවස්ථාවේදී අවසන් වන බවත් එම ලිපියේ සඳහන් වේ.
එසේම අභියාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු අවුරුදු 63 සිට 65 දක්වා ඉහළ නැංවෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වන වගන්තියට අනුව ප්‍රාදේශීය වාර පැවැත්වීමට පහසුකම් සැලසීම සඳහා විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමට නියමිත බවත් එම ලිපියේ දැක්වේ.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වා වැඩි කෙරෙන අතර, උපරිම විනිසුරු සංඛ්‍යාව 110 සිට 120 දක්වා ඉහළ නංවනු ලැබෙන බවද එම ලිපියේ සඳහන් වේ.
අනෙකුත් සියලුම පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 62 ලෙස ඒකාබද්ධ කෙරෙන බවද එම ලිපියේ දැක්වේ.
මෙම පනත් කෙටුම්පත් කිසිදු ලෙසකින් යම් නිශ්චිත විනිසුරුවරයෙකුගේ ධුර කාලය දීර්ඝ කිරීමේ හෝ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සකස් කර නොමැති බව රජය ලිපිය මගින් පෙන්වා දෙයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 2(3) සහ 14 වන වගන්තිවලට අනුව සාධාරණ හා කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාම රජයේ වගකීමක් බවද එම ලිපියේ දැක්වේ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශ්‍රාම වයස නීත්‍යානුකූලව ඉහළ නැංවීම අධිකරණ ස්වාධීනත්වයට බාධාවක් නොවන බවත්, විධායකයට තමන්ට අවශ්‍ය පරිදි තනි තනි විනිසුරුවන් තෝරාගෙන සේවා කාලය දීර්ඝ කිරීමට කිසිදු හිමිකමක් මෙමඟින් හිමි නොවන බවත් එම ලිපියේ සඳහන් වේ.
නව විනිසුරුවරුන් පත්කරමින් අධිකරණ පද්ධතිය පුළුල් කරන අවස්ථාවක ප්‍රවීණ විනිසුරුවරුන් පද්ධතිය තුළ රඳවා ගැනීම ආයතනික අඛණ්ඩතාවයට අත්‍යවශ්‍ය බවද එම ලිපියේ දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තියට අනුව මෙම පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර ඇති බැවින්, ශ්‍රේඨාධිකරණය ලබාදෙන නිල තීන්දුවට රජය පූර්ණ ලෙස ගරු කරන බව ද එම ලිපියේ සඳහන් වේ.
ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මාර්ගයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල වෙතපසුගිය 21 වැනිදා යොමු කරන ලද HR/50 සහ 425/2026 දරන රාජ්‍ය තාන්ත්‍රික සන්දේශය මඟින්, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටත්වේට් මහත්මිය ඉදිරිපත් කළ නිරීක්ෂණ සහ විමසීම්වලට මෙම නිල පිළිතුර සපයා ඇත.
උපුටා ගැනීම ලංකාදීප
