පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි!

දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ඊයේ (05) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

එහිදී දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ඉන්දියාව අවධාරණය කර තිබේ.

මීට අමතරව, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ යථා තත්ත්වය ගොඩනැගීමට ලබාදෙන සහාය, දෙරට අතර බලශක්ති සහයෝගීතාව, වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරේ වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු ඉන්දියානු සහාය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2017 සිට 2019 දක්වා කාලය තුළ පළාත් සභා නවයේම ධුර කාලය අවසන් වූ අතර, එතැන් සිට මේ දක්වා පළාත් සභා මැතිවරණය පවත්වා නොමැත.

නිල සංචාරයක් සඳහා ඊයේ (05) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීන් සමඟද ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

Social Sharing
නවතම පුවත්