සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය යෝජනා ක්‍රමයට පරිපූරක ඇස්තමේන්තුව අනුමතයි!

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමයට අදාළ 2026 වසරේ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත කර තිබේ.

ණය ලබාදීමේදී පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබාදීමට නියමිත බව ද අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක්ව තිබේ.

එම රැස්වීමේදී රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා චක්‍රලේඛ බලාත්මක කිරීම, යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල කිරීම සහ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල අදහස් ලබාගැනීමේදී මතුවන ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක PROMIS (Procurement Management Information System) පද්ධතියේ වත්මන් තත්ත්වය සහ එය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ සැලසුම් ද මෙහිදී සමාලෝචනය කර ඇත. දැනට අමාත්‍යාංශ 19ක් ඇතුළුව සක්‍රීය ප්‍රසම්පාදන ඒකක 394ක් ආවරණය කරන මෙම පද්ධතිය 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.

එම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ප්‍රදානයක් හිමිවන අතර, නව සංවර්ධකයෙකු තෝරාගැනීමට අදාළ තාක්ෂණික ඇගයීම් අවසන් කර අනුමැතිය සඳහා ලෝක බැංකුව වෙත යොමු කර ඇති බව ද සඳහන් වේ.

ප්‍රසම්පාදන කටයුතුවලදී මතුවන ප්‍රමාදයන්, ලියාපදිංචි කිරීමේ ගැටලු සහ ඩිජිටල් පද්ධති ආශ්‍රිත අභියෝග පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් ඖෂධ හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී සහ ඖෂධ ලියාපදිංචි කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කර වෙළෙඳපොළ තරගකාරීත්වය ඉහළ නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

මීට අමතරව, ප්‍රසම්පාදන කමිටුවල මූල්‍ය සීමාවන් ඉහළ නැංවීම, නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ විවිධ ක්ෂේත්‍ර සඳහා විශේෂිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් වී තිබේ.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

Social Sharing
අවකාශය නවතම