
වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන තුන්වැනි මර්දනකාරී පනත ලෙස රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බව නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මීට පෙර ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ලෙස මර්දනකාරී පනත් දෙකක් ඉදිරිපත් කර ඇති අතර, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත එහි තුන්වැනි පියවර ලෙස ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරන බවයි.
පසුගිය ජූලි මාසයේ සිට මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබුණද, එහි අන්තර්ගතය පිළිබඳව රටේ මහජනතාව, සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් තවමත් නිසි අවබෝධයක් ලබාගෙන නොමැති බවද ඔහු සඳහන් කරයි.
මෙම පනත හරහා මෙරට ක්‍රියාත්මක වන දසදහස් ගණනක් වූ රාජ්‍ය නොවන සංවිධාන ජාලයම ආණ්ඩුවේ පාලනයට යටත් කර ගැනීමේ උත්සාහයක් පවතින බව ඔහුගේ අදහසයි. ඒ අනුව, ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට එම සංවිධාන මෙහෙයවීමටත්, ආණ්ඩුව විවේචනය කරන හෝ ආණ්ඩුවේ අභිමතයට පටහැනිව කටයුතු කරන සංවිධාන පාලනය කිරීමටත් මෙම පනත මඟින් බලය හිමිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
තවද, මෙම පනතේ විෂය පථයට සාම්ප්‍රදායික රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව, ස්වේච්ඡා පදනමින් සමාජ සේවාවල නිරත වන කණ්ඩායම් සහ සංවිධාන ද ඇතුළත් වන බව ජනරංජන මහතා පැහැදිලි කරයි. ඒ අනුව, පුද්ගලයන් පස්දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්ව සමාජ සේවා කටයුත්තක නිරත වන්නේ නම්, එවැනි කණ්ඩායම් පවා රාජ්‍ය නොවන සංවිධාන ලෙස ලියාපදිංචි විය යුතු තත්ත්වයක් මෙම කෙටුම්පත මඟින් ඇති විය හැකි බව ඔහු සඳහන් කරයි.
එසේම, දේශීය හෝ ජාත්‍යන්තර මූලාශ්‍රවලින් අරමුදල් ලබා ගනිමින් සංවර්ධන හා සමාජ සේවා කටයුතුවල නිරත වන සංවිධාන ද මෙම පනතේ විෂය පථයට ඇතුළත් වන බව ඔහු පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු පනත් මඟින් ස්ථාපිත කර ඇති ඇතැම් සංවිධාන සහ විශේෂ පුද්ගලයන්ගේ සමාජ සේවා කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා පිහිටුවා ඇති අනුස්මරණ පදනම් පවා මෙම පනත් කෙටුම්පතට යටත් විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක වුවහොත් මෙරට රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන සහ ස්වේච්ඡා සමාජ සේවා කණ්ඩායම් රජයේ දැඩි අධීක්ෂණයට හා පාලනයට යටත් වීමේ අවදානමක් පවතින බව නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා අවධාරණය කරයි.
සම්පූර්ණ සාකච්ඡාව නැරඹීමට පහත ලින්කුව ඔස්සේ එකවන්න
