
අධික පොළී මුදල් ලබා දෙන බව පවසා ජනතාවගෙන් ලබාගත් මුදල් තැන්පතු සඳහා මාස කිහිපයක සිට පොළී මුදල් ලබා නොදීමත්, කල් පිරුණු තැන්පතු මුදල් ලබා නොදීමත් හේතුවෙන් මාතර ප්රදේශයේ ආලකමන්දාව ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ තැන්පත්කරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ඔවුහු පවසති.
හොරණ පිහිටි ආලකමන්දාව ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම යටතේ පවත්වාගෙන යන මාතර, උයන්වත්ත පාරේ පිහිටි ආලකමන්දාව කාර්යාලයට සති තුනක පමණ කාලයක සිට කිසිදු නිලධාරියෙකු නොපැමිණෙන බව ද එහි මුදල් තැන්පත්කරුවෝ පවසති.
තැන්පත්කරුවන් පවසන පරිදි, මාස කිහිපයක සිට ඔවුන්ට අදාළ පොළී මුදල් ලබා දී නොමැති අතර, කල් පිරුණු තැන්පතු මුදල් ද මෙතෙක් ලබා දී නොමැත. එමෙන්ම, මාස හයකට වැඩි කාලයක් තැන්පතු පවත්වාගෙන ගිය පුද්ගලයන් හදිසි අවශ්යතා සඳහා තම මුදල් ඉල්ලා සිටියද, එම මුදල් ද ලබා නොදෙන බවට ඔවුහු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් මාතර කාර්යාලයේ නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දුන්නද, ඒවාට ප්රතිචාර නොදක්වන බවත්, ඇතැම් අවස්ථාවල දුරකථන විසන්ධි කරමින් නිසි පිළිතුරු ලබා නොදෙන බවත් තැන්පත්කරුවෝ පවසති. මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳව ප්රධාන කාර්යාලයෙන් විමසීමට තැන්පත්කරුවන් උත්සාහ කළද, බොහෝ අවස්ථාවල දුරකථන විසන්ධි කර ඇති බව ඔවුහු පවසති. එමෙන්ම, විවිධ තැන්පත්කරුවන්ට එකිනෙකට වෙනස් පිළිතුරු ලබා දෙන බවත්, ඇතැම් පුද්ගලයන්ට පමණක් මාස දෙකකට අදාළ පොළී මුදල් ලබා දී ඇති බවත් ඔවුහු සඳහන් කරති.
තැන්පත් කළ මුදල් නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් නිසි පිළිතුරක් හෝ පැහැදිලි ක්රමවේදයක් ඉදිරිපත් නොකරමින්, තැන්පත්කරුවන්ට වෙනස් ආකාරයෙන් සලකන බවට ද මාතර ආලකමන්දාව ශාඛාවේ මුදල් තැන්පත් කළ පිරිස චෝදනා කරති.
තමන් තැන්පත් කළ මුදල් සහ අදාළ පොළී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබීම හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව එම තැන්පත්කරුවෝ වැඩිදුරටත් පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
මාතර අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0768182355
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය
011 266 9100
