හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයයි; පොලිස් පහරදීමක් බවට ඥාතීන්ගෙන් චෝදනා!

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි 29 හැවිරිදි තරුණයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිදුවීමක් වාර්තා වී තිබේ. අදාළ තරුණයා පොලිස් නිලධාරීන්ගේ පහරදීමකට ලක්වීම හේතුවෙන් මියගිය බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නමැති 29 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයාගේ ඥාතීන් පවසන පරිදි, ඊයේ (25) අලුයම මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් මත ඔහු අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිසියේ රඳවා තබා තිබේ. පසුව ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඥාතීන් පොලිසියට පැමිණි අවස්ථාවේදී, අපරාධ විමර්ශන අංශයේ රඳවා සිටි තරුණයා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් ඔසවාගෙන පැමිණි බවත්, ඔහුට පහරදීමක් සිදුව ඇති බවත් ඥාතීහු චෝදනා කරති.

පොලිස් සිර මැදිරියේ වැතිර සිටි තරුණයා ඥාතීන්ගේ ඉල්ලීම මත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණද, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව ඥාතීන් පවසති.

මෙම මරණය සම්බන්ධයෙන් සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වා, තම ඥාතියාට සිදුවූ බව කියන අසාධාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස මියගිය තරුණයාගේ ඥාතීහු ඉල්ලා සිටිති.

සිද්ධියෙන් අනතුරුව හෝමාගම මූලික රෝහල් පරිශ්‍රයේදී මියගිය තරුණයාගේ ඥාතීන් කලබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් අවට පොලිස් ස්ථානවල නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබේ. ඒ සමඟ රෝහල් පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ වැටලීමක් අතරතුර හෝමාගම පොලිසියට රැගෙන ආ සැකකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බවයි.

එමෙන්ම, පොලිස් නිලධාරීන් විසින් පහරදීමක් සිදුකළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හෝමාගම පොලිස් අධිකාරි කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මරණයට හේතුව තහවුරු කර ගැනීම සඳහා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මරණයට හේතුව, අත්අඩංගුවේ සිටියදී සිදුවූයේ කුමක්ද යන්න සහ මරණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා සිදුකෙරෙන විමර්ශනවල ප්‍රතිඵල මෙහිදී තීරණාත්මක වනු ඇත.

Social Sharing
නවතම පුවත්