නීතිවිරෝධිව රඳවාගෙන හිංසාකළ වින්දිතයාට ඉමදූව HRFAC මැදිහත්වීමෙන් නීතිය ක්‍රියාත්මක වේ.

විශ්‍රාමික ගුරුවරියක සහ ඇගේ ඉංජිනේරු පුත්‍රයා නීතිවිරෝධී ලෙස රඳවා තබා කායික හා මානසික හිංසනයට ලක් කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ශරීර ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීම සඳහා ඉමදුව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී අවශ්‍ය නීතිමය හා පැමිණිලි ක්‍රියාමාර්ග ගැනීමට සහාය ලබා දී ඇත.

ඒ අනුව, සිද්ධියට අදාළව වින්දිතයා වෙනුවෙන් ලිඛිත පැමිණිල්ලක් සකස් කිරීමත්, ඇසින් දුටු සාක්ෂිවලට අදාළ දිවුරුම් ප්‍රකාශ සකස් කිරීමත් සිදුකර තිබේ. අනතුරුව අදාළ පැමිණිලි පොලිස්පතිවරයා වෙත, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත, ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත සහ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

වාර්තා වන අන්දමට, කිරින්ද නගරයේ වඩිගවත්ත මාර්ගයේ තාප්පයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම සිදුවීමට මුල් වී තිබේ. පැමිණිලිකාර විශ්‍රාමික ගුරුවරියගේ ඉංජිනේරු පුත්‍රයා මෝටර් රථයක් මිලදී ගෙන නිවසට රැගෙන ඒමෙන් පසු, අසල්වැසි ඉඩමේ තාප්පයක් ඉදිකිරීම හේතුවෙන් එම රථය නිවසින් පිටතට ගැනීමට බාධා ඇති වූ බව වාර්තා වේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ අදාළ වාර්තාවක් සකස් කිරීමට බව පවසමින් විශ්‍රාමික ගුරුවරිය සහ ඇගේ පුත්‍රයා ප්‍රාදේශීය සභාව වෙත කැඳවා තිබූ බව සඳහන් වේ. එහිදී ඔවුන් දෙදෙනා කාමරයක රඳවා තබා කායික හා මානසික හිංසනයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබේ.

පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිකරණයේදී දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Social Sharing
නවතම පුවත්