
ශ්රී ලංකාවේ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා නොර්ඩික් කලාපීය සංචාරයක නිරත වෙමින් ස්වීඩනය, ෆින්ලන්තය සහ නෝර්වේ යන රටවල අමාත්යවරුන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එහිදී ස්වීඩන යටිතල පහසුකම් සහ නිවාස අමාත්ය ඇන්ඩ්රියාස් කාල්සන් (Andreas Carlson), ෆින්ලන්ත ප්රවාහන හා සන්නිවේදන අමාත්ය ලුලු රානේ (Lulu Rane) සහ නෝර්වේ ප්රවාහන අමාත්ය කම්සි ගුණරත්නම් (Kamzy Gunaratnam) යන මහත්ම මහත්මීන් හමුවූ ඒ මහතා, ශ්රී ලංකාවේ ප්රවාහන හා නාගරික සංවර්ධන ක්ෂේත්රයන්හි සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම සාකච්ඡාවල ප්රධාන අවධානය යොමුව ඇත්තේ ශ්රී ලංකාවේ ප්රවාහන යටිතල පහසුකම් නැංවීම, මාර්ග ආරක්ෂිතතාව තහවුරු කිරීම සහ වඩාත් කාර්යක්ෂම මෙන්ම තිරසාර ප්රවාහන පද්ධතියක් ගොඩනැගීම කෙරෙහිය. ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික පුනරුද ක්රියාවලිය, සිදුකෙරෙමින් පවතින ප්රතිසංස්කරණ සහ රට තුළ සිදුවන මාරාන්තික මාර්ග අනතුරු අවම කරගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්යවරයා මෙහිදී නොර්ඩික් රටවල නියෝජිතයන් දැනුවත් කර තිබේ.

ස්වීඩන සංචාරය අතරතුරදී අමාත්යවරයා එරට ප්රවාහන පාලනාධිකාරිය (Trafikverket), ජාතික මාර්ග උපදේශක ආයතනය (Sweroad), ජාතික මාර්ග හා ප්රවාහන පර්යේෂණ ආයතනය (VTI) සහ දුම්රිය ක්ෂේත්රයේ ප්රමුඛ සමාගමක් වන ‘Alstom’ හි නියෝජිතයන් හමුවී ඇත. මාර්ග අනතුරුවලින් සිදුවන මරණ සහ බරපතල තුවාල ලැබීම් සම්පූර්ණයෙන්ම නැවැත්වීම අරමුණු කරගත් ස්වීඩනයේ ‘Vision Zero’ නම් ලෝක ප්රකට මාර්ග ආරක්ෂණ උපායමාර්ගය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමුවී ඇති අතර, එහි සාර්ථක සංකල්ප ශ්රී ලංකාවේ මාර්ග පද්ධතියට එක්කර ගැනීමට ඇති හැකියාවන් පිළිබඳවද විමසා බලා තිබේ.
මීට අමතරව, ස්ටොක්හෝම් නුවර ඉදිවෙමින් පවතින ප්රධාන බහුවිධ ප්රවාහන මධ්යස්ථානයක් වන ‘Slussen’ පරිශ්රයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අමාත්යවරයා, ශ්රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද සුහද හමුවකදී ස්වීඩන රජයේ නිලධාරීන් සහ ව්යාපාරික නියෝජිතයන්ද හමුවිය. ස්ටොක්හෝම්හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, තාක්ෂණික සහයෝගීතාව ලබාගනිමින් සහ ජාත්යන්තර හොඳම පුරුදු අනුගමනය කරමින් ශ්රී ලංකාවේ ප්රවාහන ක්ෂේත්රයේ පවතින අභියෝගයන්ට සාර්ථක විසඳුම් සෙවීම මෙම සංචාරයේ ප්රධාන අරමුණ වූ බවයි.
