
වසර ගණනාවක් තම ශ්රමය හා කැපවීම ආයතනයේ කටයුතු වෙනුවෙන් කැප කළ සේවකයකුට, අවසානයේ රැකියාව අහිමිවීමත් සමඟ සිය පවුලේ අනාගතය පිළිබඳවද අවිනිශ්චිතතාවකට මුහුණ දීමට සිදුව තිබේ. සූරියවැව, හතරමන් හන්දියේ පිහිටි එක්තරා ප්රජා මූල සංවිධානයක සේවය කළ සූරියවැව, පනාවාසය, අංක 961යන ලිපිනයේ පදිංචි කේ. නිහාල් මහතා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්රියාමාර්ගයේ සාධාරණත්වය පිළිබඳ ගැටලු මතුකරමින්, ඒ සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් ඉල්ලා අදාළ බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
නිහාල් මහතාගේ කරුණු දැක්වීමට අනුව, ඔහු 2006 වර්ෂයේ සිට අදාළ සංවිධානයේ සේවය කර ඇති අතර, 2025 ජූලි 29 වැනිදා ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ. අනතුරුව චෝදනා හතක් ඇතුළත් චෝදනා පත්රයක් 2025 අගෝස්තු 09 වැනිදා ලබාදී ඇති අතර, ඒ සඳහා තමන් ලිඛිත පිළිතුරුද ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත්, 2026 අගෝස්තු 04 වැනිදා ලිපියක් මගින් තමන් සේවයෙන් ඉවත් කළ බව ඔහු පවසයි.
මෙම සිදුවීමට පෙර, 2025 මැයි මාසයේදී සේවක වැටුප් වැඩි කිරීම සහ වැටුප් විෂමතා පිළිබඳව කරුණු විමසූ බවත්, ඉන් පසුව තමන්ට එරෙහිව විනය ක්රියාමාර්ග ආරම්භ වූ බවත් නිහාල් මහතා පවසයි. එම කරුණු සහ පසුව ගත් විනය ක්රියාමාර්ග අතර සම්බන්ධයක් තිබේද යන්න තහවුරු වී නොමැති බැවින්, ඒ පිළිබඳව අදාළ ලේඛන හා කරුණු සලකා බැලීම වැදගත් ඔහු විසින් අවදාරනය කර සිටී.
ඔහුට එරෙහිව ඉදිරිපත් වූ බව කියන ප්රධාන චෝදනාවක් වන්නේ වසර කිහිපයක් පුරා ජල බිල්පත් ගෙවා නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ජල බිල්පත්, ගෙවීම් වාර්තා, ගිණුම් ලේඛන සහ විගණන තොරතුරු පරීක්ෂා කර සත්ය තත්ත්වය තහවුරු කළ යුතු බව නිහාල් මහතා පවසයි. 2025 නොවැම්බර් 17 වැනි දිනැති ජාතික ප්රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්රික් කාර්යාලයෙන් නිකුත් කළ ලිපියක්ද තමන් සතුව ඇති ලේඛන අතර පවතින බව ඔහු සඳහන් කරයි.
රැකියාව අහිමිවීම හේතුවෙන් රැකියාවක් නොමැති බිරිඳක සහ අධ්යාපනය ලබන දරුවන් තිදෙනකු සිටින තම පවුල දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී ඇති බවද නිහාල් මහතා පවසයි. පවුලේ මූලික අවශ්යතා සහ දරුවන්ගේ අධ්යාපන කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව පෙන්වා දෙන ඔහු, තමන්ට එරෙහිව ගත් විනය ක්රියාමාර්ග සහ සේවයෙන් ඉවත් කිරීමේ තීරණය නැවත සලකා බැලීමේ අවශ්යතාව අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නිහාල් මහතා සඳහන් කළේ, තමන්ට සිදුවූ බව කියන අසාධාරණය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් ඉල්ලා අදාළ වගකිවයුතු ආයතන වෙත මෙන්ම කම්කරු කාර්යාලය වෙතද පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි. තමන්ට එරෙහි චෝදනා, විනය ක්රියාමාර්ග අනුගමනය කළ ආකාරය සහ සේවයෙන් ඉවත් කිරීමේ තීරණය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදුකර සත්ය තත්ත්වය අනාවරණය කරගැනීම ඔහුගේ අපේක්ෂාව වී තිබේ.
වසර ගණනාවක් සේවය කළ ආයතනයකින් රැකියාව අහිමිවීමත් සමඟ පවුලේ ආර්ථික අභියෝගවලටද මුහුණ දී සිටින නිහාල් මහතා, තමන් ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරයි. මෙම සිදුවීමේදී මතුව ඇති ප්රධාන කරුණ වන්නේ සේවකයාට එරෙහි චෝදනා සහ විනය ක්රියාමාර්ග අනුගමනය කළ ආකාරය පිළිබඳ කරුණු නිසි ලෙස සලකා බැලීමයි. ඉදිරිපත් කර ඇති පැමිණිලි හා අදාළ ලේඛන විමර්ශනය කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
