හෙට දිනන ලෝකයට: ළමා අයිතිවාසිකම්, සුරක්ෂිතභාවය සහ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අනාගතය – ඉෂාරා පෙරේරා

දරුවන් යනු හුදෙක් අනාගතයේ පුරවැසියන් පමණක් නොව, වර්තමාන සමාජයේ වටිනාම සහ සංවේදීම සම්පතකි. එසේම ඔවුන් අහිංසක, කුතුහලය සහ සීමාරහිත හැකියාවන්ගෙන් පිරි පිරිසිදු ආත්මයන්ගෙන් පිරි කොටසකි. ඕනෑම රටක අනාගතය හැඬ ගැසෙන්නේ අද දවසේ එම රටේ දරුවන්ට දක්වන සැලකිල්ල සහ ලබාදෙන අවස්ථාවන් මතය. එබැවින් දරුවන් යනු අප ආරක්ෂා කරගත යුතු, පෝෂණය කළ යුතු සහ ආදරයෙන් රැක ගත යුතු වටිනාම සම්පතයි. ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් 01 වන දිනට සමරන ලෝක ළමා දිනය උදා වී ඇති මේ මොහොතේ, දරුවෙකුගේ ජීවිතය වෙනස් කිරීමට ළමා අයිතිවාසිකම් ඉටුකරන්නේ කෙබඳු කාර්යභාරයක්ද යන්න ගැඹුරින් විමසා බැලීම කාලීන අවශ්‍යතාවකි.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය (UNCRC) යනු ලොව පුරා සිටින දරුවන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වූ ජාත්‍යන්තර එකඟතාවකි. මෙමගින් දරුවෙකුට ඉපදීමේ සිට ජීවත්වීමට, ආරක්ෂාව ලැබීමට, වර්ධනය වීමට සහ සමාජයීය ක්‍රියාවලියට සහභාගී වීමට ඇති අයිතිය නීත්‍යානුකූලව තහවුරු කර ඇත.

දරුවෙකුට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය, නිසි සෞඛ්‍ය රැකවරණය සහ පෝෂණය ලැබීමේ අයිතිය මෙන්ම, ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින්, අපයෝජනයකින් සහ සූරාකෑමකින් මිදී ආරක්ෂිතව සිටීමේ අයිතිය තහවුරු කිරීම මගින් දරුවෙකුගේ මුළු ජීවිතයම යහපත් මගකට යොමු කෙරේ. අයිතිවාසිකම් සුරක්ෂිත වූ පරිසරයක හැදී වැඩෙන දරුවෙකු තමා ගැන මෙන්ම අන් අය ගැනද සිතන, ආත්ම විශ්වාසයෙන් පිරි යහපත් පුරවැසියෙකු බවට පත්වේ.

අප දරුවන් ආරක්ෂා කළ යුත්තේ මන්ද? දරුවන් යනු සමාජයේ වඩාත්ම අනාරක්ෂිත සහ අන් අය මත යැපෙන පිරිසයි. ඔවුන්ට තමන් වෙනුවෙන් හඬක් නැගීමට හෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට ඇති හැකියාව සීමිතය. එබැවින්, ඔවුන්ට විය හැකි ශාරීරික, මානසික සහ ලිංගික හිංසනයන්ගෙන් මෙන්ම මත්ද්‍රව්‍ය හා අනතුරුදායක පරිසරයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම වැඩිහිටි සමාජයේ පරම වගකීමකි. දරුවෙකුට කුඩා කාලයේදී සිදුවන යම් මානසික හෝ ශාරීරික බලපෑමක් ඔහුගේ මුළු අනාගතයටම මහා කළු පැල්ලමක් ඉතිරි කළ හැකිය. එබැවින් දරුවාට සුරක්ෂිත නිවසක්, ආදරණීය පවුලක් සහ හිංසනයෙන් තොර පාසලක් නිර්මාණය කර දීම මුළු මහත් සමාජයේම වගකීමකි.

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කරදීම සඳහා අප අද දවසේ පියවර කිහිපයක් අනුගමනය කළ යුතුය. ප්‍රථමයෙන්ම, ගුණාත්මක සහ නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ලබාදෙමින් දරුවන්ගේ විවේචනාත්මක චින්තනය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කළ යුතුය. දෙවනුව, පෝෂණය සහ සෞඛ්‍ය පහසුකම් සමානව ලබාදෙමින් සියලු දරුවන්ට නිරෝගීව වැඩීමට අවස්ථාව සැලසිය යුතුය. එමෙන්ම, ධනාත්මක විනය පාලන ක්‍රමවේද (Positive Discipline) ඔස්සේ දරුවන්ට ආදරයෙන් සහ කරුණාවෙන් මගපෙන්විය යුතු අතර, පරිසරය සුරැකීම, තාක්ෂණය නිසි ලෙස භාවිත කිරීම සහ මානව දයාව වැනි ගුණාංග ඔවුන් තුළ රෝපණය කළ යුතුය.

ලෝක ළමා දිනය යනු හුදෙක් එක දිනක උත්සව පැවැත්වීමට හෝ තෑගි බෝග ලබාදීමට පමණක් සීමා වූ දිනයක් නොවිය යුතුය. ශ්‍රී ලාංකේය දරුවන්ට බියෙන් හා සැකයෙන් තොරව, තම අයිතිවාසිකම් භුක්ති විඳිමින්, නිදහසේ සිහින දැකිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙදින අප ගන්නා තදබල අභිප්‍රාය විය යුතුය. අප දරුවන්ට ලබාදෙන හොඳම තෑග්ග වන්නේ ආරක්ෂිත වර්තමානයක් සහ බලාපොරොත්තු පිරි අනාගතයකි. මන්ද, දරුවන් සුරක්ෂිත වන ලෝකය සෑම විටම සුන්දර සහ ජයග්‍රාහී ලෝකයක් වන බැවිනි.

Social Sharing
අවකාශය පුවත්