
ශ්‍රී ලංකා රේගුවේ ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී පියවරක් ලෙස “කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” අද (01) සිට ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන මෙම නව ක්‍රමවේදය දියත් කිරීමේ සමාරම්භක උත්සවය අද ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.
ඒ අනුව, අද සිට සියලුම ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන සහ ඊට අදාළ ලේඛන වලංගු ඩිජිටල් අත්සනක් සහිතව ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
පැරණි ක්‍රමවේදයට අනුව කඩදාසි මත ඉදිරිපත් කරන රේගු ප්‍රකාශන අද සිට තවදුරටත් භාර නොගැනීමට ද ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබේ.
නව ක්‍රමවේදය හරහා රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු සේවාවක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම ඩිජිටල් අත්සන යෙදීමෙන් පසුව රේගු ප්‍රකාශන හෝ අදාළ ලේඛනවල සිදුකරන වෙනස්කම් පද්ධතිය මගින් හඳුනාගත හැකි බැවින්, ලේඛන වෙනස් කිරීම, වංචා සහ දූෂණ සඳහා ඇති ඉඩකඩ ද අවම කිරීමට මෙම ක්‍රමවේදය උපකාරී වනු ඇත.
මෙය ශ්‍රී ලංකා රේගු සේවාව නවීන ඩිජිටල් පරිසරයකට ගෙන යාමේ මෙන්ම රාජ්‍ය ආදායම් පරිපාලනය වඩාත් කාර්යක්ෂම කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
