රසිකයාගේ හඬට අයිතියක් නැතිද?

ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලකගේ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන “මගේ ගීත මට ඇරෙන්න කාටවත් කියන්න බැහැ” යන අදහස මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංවාදයකට ලක්ව තිබේ.

මෙහිදී වැදගත් වන්නේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පුද්ගලයෙකුගේ පක්ෂපාතී හෝ විරෝධී මතයක් ගොඩනැගීම නොව, නිර්මාණකරුවෙකුගේ අයිතිය සහ රසිකයාගේ මානව හිමිකම් අතර සීමාව කොතැනද? යන්න විමසා බැලීමයි.

නිර්මාණකරුවාගේ අයිතියත් මානව අයිතියක්?

ගීතයක් නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවේ. එහි පද රචනය, සංගීත නිර්මාණය, ගායනය සහ පටිගත කිරීම පිටුපස පුද්ගලයන්ගේ නිර්මාණශීලී ශ්‍රමයක් තිබේ.

එම නිසා නිර්මාණකරුවෙකුට තම නිර්මාණයෙන් ලැබෙන සදාචාරාත්මක හා ආර්ථික ප්‍රතිලාභ ආරක්ෂා කර ගැනීමට අයිතියක් තිබීම මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන්ද වැදගත්ය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමිතීන් තුළ, පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද සාහිත්‍යමය හෝ කලාත්මක නිෂ්පාදනයකින් ඇතිවන ඔහුගේ හෝ ඇයගේ සදාචාරාත්මක හා ද්‍රව්‍යමය අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව සඳහන් වේ.

ඒ අනුව ගීතයක් සොරකම් කිරීම, වෙනත් අයෙකුගේ නමින් පළ කිරීම, නිර්මාණකරුවාගේ නම මකා දැමීම හෝ අවසරයකින් තොරව වාණිජමය වශයෙන් භාවිත කර ආදායම් උපයා ගැනීම සරලව “රසිකත්වය” ලෙස සාධාරණීකරණය කළ නොහැක.

එහෙත් රසිකයාටත් අයිතිවාසිකමක් තිබේ!

මෙහි අනෙක් පැත්තද ඒ තරම්ම වැදගත්ය.

මානව හිමිකම් නීතිය සංස්කෘතිය නිර්මාණය කරන පුද්ගලයා පමණක් ආරක්ෂා නොකරයි. සංස්කෘතික ජීවිතයට සහභාගී වීම, කලාව භුක්ති විඳීම සහ සංස්කෘතික ප්‍රකාශනයන් සමඟ සම්බන්ධ වීමද මිනිසුන්ගේ අයිතිවාසිකම්වල කොටසකි.

ගීතයක් ජනතාව අතරට ගිය පසු එය හුදෙක් සංගීත කෘතියක් පමණක් නොව, මිනිසුන්ගේ මතකයන්, හැඟීම් සහ සමාජ අත්දැකීම් සමඟ බැඳෙන සංස්කෘතික ප්‍රකාශනයක් බවට පත්වෙයි.

කෙනෙකු තම නිවසේ තනිව ගීයක් ගායනා කිරීමත්, වෙනත් අයෙකු එම ගීතය තමන්ගේ ව්‍යාපාරික නිෂ්පාදනයක් ලෙස භාවිත කිරීමත් එකම ක්‍රියාවක් ලෙස සැලකීම සාධාරණ නොවේ.

එසේම මඟුල් උත්සවයක, පාසල් උත්සවයක හෝ පොදු වේදිකාවක ගීයක් ගායනා කිරීම copyright නීතිය යටතේ වෙනම නීතිමය ප්‍රශ්න මතු කළ හැකිය. ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතියේ “public performance” යන්නට ප්‍රසිද්ධියේ කෘතියක් ඉදිරිපත් කිරීමද ඇතුළත් වේ.

එබැවින් “රසිකයාට ඕනෑම තැනක, ඕනෑම ආකාරයකින් ගීයක් ගායනා කිරීමට සම්පූර්ණ නිදහස තිබේ” යන්නද නිවැරදි නීතිමය ප්‍රකාශයක් නොවේ.

Copyright එක සහ මානව හිමිකම එකම දෙයක්ද?

මෙහිදී තවත් වැදගත් වෙනසක් තිබේ.

Copyright යනු නීතියෙන් නිර්මාණකරුවෙකුට ලබාදෙන බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පද්ධතියකි.

එහෙත් මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් “නිර්මාණකරුවාගේ අයිතිය” සහ “ජනතාවගේ සංස්කෘතික ජීවිතයට සහභාගී වීමේ අයිතිය” යන දෙකම එකවර සලකා බැලිය යුතුය.

එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුවද මෙම අයිතිවාසිකම් දෙක අතර සුදුසු සමතුලිතතාවක් අවශ්‍ය බව අවධාරණය කර ඇත.

ඒ නිසා copyright නීතියේ අරමුණ විය යුත්තේ නිර්මාණකරුවාගේ සාධාරණ අයිතිය ආරක්ෂා කිරීම පමණක් නොව, සමාජයේ සංස්කෘතික ජීවිතය අසාධාරණ ලෙස සීමා නොවන ආකාරයේ සමතුලිතතාවක් පවත්වා ගැනීමයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ප්‍රශ්නය සංකීර්ණ වේ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) යටතේ සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිගෙන තිබේ.

එමෙන්ම 14(1)(f) යටතේ තම සංස්කෘතිය භුක්ති විඳීමට හා ප්‍රවර්ධනය කිරීමට ඇති නිදහසද පිළිගෙන ඇත.

එබැවින් ගීතයක් ගායනා කිරීම ඇතැම් අවස්ථාවලදී හුදෙක් “විනෝදාංශයක්” පමණක් නොව, සංස්කෘතික සහ ප්‍රකාශන ක්‍රියාවක් ලෙසද දැකිය හැකිය.

එහෙත් එම අයිතිවාසිකම් නිරපේක්ෂ නොවේ. නීතිය මඟින් පිළිගත් සාධාරණ සීමා තිබිය හැකිය.

එහිදී ප්‍රශ්නය වන්නේ,

“රසිකයාට ගීයක් ගයන්න පුළුවන්ද?”

යන්න පමණක් නොවේ.

ඊට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ,

“එම ගායනය කුමන අවස්ථාවකදී, කුමන අරමුණකින්, කුමන ආකාරයෙන් සිදුවන්නේද?”

යන්නයි.

ගීතය ජනතාවට ගිය පසු?

කලාකරුවෙකුගේ නිර්මාණයක සැබෑ වටිනාකම එය ජනතාව අතරට ගමන් කිරීමෙන්ද මැනිය හැකිය.

මිනිසුන් ගීයක් මතක තබා ගැනීම, ගායනා කිරීම, තම ජීවිතයේ විවිධ අවස්ථාවන් සමඟ එය සම්බන්ධ කර ගැනීම සහ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම සංස්කෘතික ජීවිතයේම කොටසකි.

ඒ නිසා නිර්මාණකරුවාගේ අයිතිය ආරක්ෂා කරන නීතියක්, නිර්මාණය ජනතාවගේ සංස්කෘතික ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කරන මෙවලමක් බවට පත්වීම සුදුසු නොවේ.

අනෙක් අතට “ජනතාව ආදරය කරන නිසා” නිර්මාණකරුවෙකුගේ ආර්ථික හෝ සදාචාරාත්මක අයිතිවාසිකම් නොසලකා හැරීමද මානව හිමිකම්වලට අනුකූල නොවේ.

එහෙනම් සමතුලිතතාවය කොතැනද?

සමතුලිතතාවය ඇත්තේ මෙතැනයි.

නිර්මාණකරුවාගේ ගීතය ඔහුගෙන් සොරකම් නොකළ යුතුය.

නමුත් ගීතයට ආදරය කරන සමාජයද එම නිර්මාණයෙන් සංස්කෘතික වශයෙන් සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක.

නිර්මාණකරුවාගේ නම සඳහන් කිරීම, ආදායම් උපයන භාවිත සඳහා සාධාරණ ගෙවීමක් කිරීම සහ අවසර අවශ්‍ය අවස්ථාවලදී අවසර ලබා ගැනීම වැදගත්ය.

ඒ සමඟම නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලික භාවිතය, පොදු ගායනය, වාණිජ භාවිතය, විනෝදාස්වාද කර්මාන්තය සහ අන්තර්ජාල ප්‍රකාශනය වැනි වෙනස් අවස්ථා අතර පැහැදිලි වෙනසක් තිබිය යුතුය.

අවසානයේ මේ සංවාදය “ගීතය කාගේද?” යන ප්‍රශ්නයෙන් පමණක් අවසන් කළ නොහැක.

ඒ සමඟම තවත් ප්‍රශ්නයක් තිබේ.

ඒ “නිර්මාණකරුවාගේ අයිතිය ආරක්ෂා කරන අතරම, එම නිර්මාණය තුළින් සංස්කෘතික ජීවිතයට සහභාගී වීමට ජනතාවට ඇති අවකාශය කොතෙක් දුරට ආරක්ෂා කළ යුතුද?” යන්නයි..

Social Sharing
අවකාශය නවතම විශේෂාංග