
1987 ජූලි මස 29 වන දින ඉන්ද්‍රිය අග්‍රාමාත්‍ය ශ්‍රී රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර අත්සන් කෙරැනු ඉන්දු ලංකා සාම ගිවිසුමට එරෙහිව එවකට එල්ටීටි සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙකුව සිටි රාසයියා පාර්තීපන් නොහොත් “තිලීපන්” සිදු කරන ලද මාරාන්තික උපවාසය අතරතුර 1987 සැප්තැම්බර් මස 26 වන දින ඔහු මිය යෑම සිදුව තිබෙනවා. මෙම සිද්ධිය සිදුව ඇත්තේ යාපනයේ නල්ලූර්හි පිහිටි කන්දසාමි කෝවිල ආසන්නයේදීයි.
එම සිදුවීම මුල් කොට එම ස්ථානයේ “තිලීපන් සමරැ පිළිරුවක් විවෘත කරනු ලැබූ අතර මේ සම්බන්ධව මේ දිනවල සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඕනෑම ජන වර්ගයකට තමන් විශ්වාස කරන සමාජ හෝ දේශපාලනමය ප්‍රතිපත්තීන් වලට අනුකූලව ඕනෑම පුද්ගලයෙකුගේ පිළිරුවක් නිර්මාණය කිරීමේ අයිතිය පවතින බව සමහරක් තර්ක කරන අතර ජාතිකවාදීන් සඳහන් කරන්නේ “තිලීපන්” තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ මෙන්ම දේශපාලන අංශයන්හිද සාමාජිකයෙකුව සිටි බැවින් එවැනි පුද්ගලයෙකුගේ පිළිරුවක් නිර්මාණය කිරීම තුළින් වසර තිහකට අධික කාලයක් මේ රට වෙලාගෙන සිටි රුදුරු ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීමක් මෙවැනි ක්‍රියාවලින් තුළින් සිදුවන බවයි.
කෙසේ වෙතත් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කරන ලද සන්නද්ධ හෝ දේශපාලන අංශයන්ට සම්බන්ධ පුද්ගලයන් අතරින් යාපනය අර්ධද්වීපය තුළ පිළිරුවක් නෙලා ඇති එකම පුද්ගලයා සහ එකම අවස්ථාව මෙය නොවන බව පමණ පමණක් සඳහන් කළ හැකියි.
1974 ජූනි වශ පස් වන දින එවකට ළදරු වියේ පසුව පසුවූ එල්. ටී. ටි. ඊ( එවකට මෙම සංවිධානයේ හැඳින්වනු ලැබුවේ නව දෙමළ කොටි යනුවෙනි) සංවිධානයේ සාමාජිකයන් පිරිසක් කෝපයි මහජන බැංකුව ආයුධ සන්නද්ධව කොල්ලකනු ලැබූ අතර එම කොල්ලකරුවන් පසුපස හඹාගිය කෝපායි පොලිසියේ නිලධාරීන් විසින් එම කොල්ලයට නායකත්වය සැපයූ බව කියන පොන්නයියා ශිව කුමාරන් නමැති 23 හැවිරිදි තරුණයක කොටු කර ගන්නා ලදී. ඔහු පොලිසිය සමඟ වෙඩි හුවමාරැවක යෙදීමෙන් පසු සිය ගෙල බැඳි සයනයිඩ් කරල අනුභව කිරීමෙන් සියදිවි හානි කරගනු ලැබුවේ එල්ටීටී සංවිධානය වෙනුවෙන් දිව් පිදූ පළමු මරාගෙන මැරුන සාමාජිකයා ලෙසය.
ශිව කුමාරන් එකල තරුණ නායකයෙකු වූ ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරු වූ අතර ඔහු වෙනුවෙන් යාපනයේ තරුණයන් විසින් ඉතා උත්කර්ෂවත් අවමඟුල් උත්සවයක්ද සංවිධානය කෙරිණි. එම අවමගුල් උත්සවය අවස්ථාවේදී යාපනයේ දමිළ තරුණයන් පිරිසක් සිය ඇගිලි කපාගනිමින් ශිව කුමාරන්ගේ මෘත ශරීරයේ නළල මත ඔවුන්ගේ රුධිරයෙන් පොට්ටු තබා තිබුණේ “ලෙයට ලෙයින් පලිගන්නා බවට සපථ කරමිනි.
1975 වර්ෂයේදී ශිව කුමාරන් ගේ පිළිරුවක් දමිළ දේශපාලනඥයින් පිරිසක් විසින් ඔහුගේ ගම්පියස වූ යාපනයේ කගසන්තර පාරේ උරුම්පිරායි මංසන්ධියේ මහත් උත්සවාකාරය ස්ථාපිත කරනු ලැබු අතර 1977 වර්ෂයේ යාපනය අර්ධද්වීපය තුළ පැන නැගුණු යම් කලහකාරී සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂක හමුදාවට සම්බන්ධ පිරිසක් විසින් මෙම ප්‍රතිමාව කඩා දැමීම සිදුකර තිබෙන ලදී. ටික කලක් හිස පහතට සිටින ලෙස කම්බි වලින් එල්ලෙමින් පැවති ප්‍රතිමාව පසුව ඉවත් කර තිබෙනවා.
1980 වර්ෂයේ මෙම ප්‍රතිමාව නැවතත් එම ස්ථානයේදීම ස්ථාපිත කරනු ලැබූ අතර එම ප්‍රතිමාවද නාදුනන කණ්ඩායමක් විසින් 1981 වර්ෂය විනාශ කරන ලද බවට වාර්තාවල සඳහන් වෙනවා. පසුව 1999 වර්ෂයේ මෙම ප්‍රතිමාව නැවත ස්ථාපිත කර ඇති අතර අදටත් එය උරුම්පිරායි මංසන්ධියේ නිරුප්‍රදීතව තිබෙනවා. විශේෂයෙන්ම ඔහු සිය දිවි පූජාව සිදුකරනු ලැබූ 1974 සැප්තැම්බර් මස 26 වන දින සිහි කරමින් සෑම වර්ෂයකම එදින සහ නොවැම්බර් මස 26 දිනට යෙදී ඇති මහා විරු දින වැනි උත්සව අවස්ථාවල මෙම ප්‍රතිමාවට මහජන ගෞරව දැක්වීම් ද සිදුවන බවත් වාර්තා වෙනවා. මේ අනුව යාපනය අර්ධද්වීපය තුළ ඉදිකර ඇති එකම සහ ප්‍රථම විරු සමරු ප්‍රතිමාව තිලීපන් ප්‍රතිමාව පමණක් නොවන බව සඳහන් කළ හැකියි.
