
පරම්පරාවෙන් පරම්පරාවට රැකගත් ඉඩමක් සහ නිවසක්, පවුලේ සියලු උරුමකරුවන්ගේ අයිතිවාසිකම් නොසලකා එක් පුද්ගලයෙකුගේ නමට පමණක් පවරා දිය හැකිද? එසේ සිදුවී ඇත්නම්, එම පවරාදීම සිදුවූයේ කුමන නීතිමය පදනමක් මතද යන්න සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුව තිබේ.
ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයෙන් වාර්තා වන මෙම සිද්ධිය එවැනි ප්‍රශ්න කිහිපයක් සමාජය හමුවේ තබයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක් සහ එහි පිහිටි නිවසක් සම්බන්ධයෙන් පවුලේ උරුමකරුවන්ගේ අයිතිවාසිකම් නිසි ලෙස සලකා නොබලා, පවුලේ බාලම පිරිමි සාමාජිකයාගේ නමට පමණක් අදාළ ඉඩම පවරා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. හේවායාලගේ පද්මලතා ජයරත්න මහත්මිය විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සදහන් වන පරිදි අදාළ ඉඩම 1964 වසරේදී ඇගේ පියා වන හේවායාලගේ දිස්නේරිස් මහතා වෙත මහවැලි අධිකාරිය මගින් බලපත්‍රයක් යටතේ ලබාදී තිබේ. පියාගේ සහ මවගේ අභාවයෙන් පසු, දරුවන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ සාමාජිකාවක වන පද්මලතා ජයරත්න මහත්මිය එම ඉඩමේ දිගුකාලීනව පදිංචිව සිට ඇති බවත්, නිවස සංවර්ධනය කිරීම සඳහා තම පෞද්ගලික මුදල් සහ ශ්‍රමය වැය කර ඇති බවත් ඇය පවසයි.
එහෙත්, ඇය සඳහන් කරන්නේ පවුලේ කිසිදු සාමාජිකයෙකුගේ කැමැත්ත හෝ එකඟතාව ලබා නොගෙන, පවුලේ බාලම පිරිමි සාමාජිකයාගේ නමට පමණක් අදාළ ඉඩම සහ නිවසට හිමිකම්පතක් (ඔප්පුවක්) 2007 ජනවාරි මස සකසා දී ඇති බවයි, මෙය පවුලේ සහෝදර සහෝදරියන් අතර සිදු වූ එකඟතාමය පවරාදීමක් නොව, අදාළ බාල සොයුරා සහ මහවැලි බලධාරීන් අතර සිදුවූ ගනුදෙනුවක් ලෙස සිදුව ඇති බවට සැකයක් පවතින බවයි.
මෙහිදී මතුවන ප්‍රධාන නීතිමය ගැටලුව වන්නේ, මුල් බලපත්‍රලාභියාගේ මරණයෙන් පසු අදාළ ඉඩමේ අනුප්‍රාප්ති අයිතිය තීරණය කිරීමේදී එවකට බලපැවැත්වූ නීතිමය ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර තිබුණේද යන්නයි. විශේෂයෙන්ම, මුල් බලපත්‍රයේ සඳහන් තොරතුරු, අනුප්‍රාප්තිකයා නම් කිරීමක් තිබුණේද, මව්පියන්ගේ මරණයෙන් පසු අනුප්‍රාප්ති ක්‍රියාවලිය සිදුවූ ආකාරය සහ 2007දී අදාළ ලේඛනය සකස් කිරීමට මහවැලි බලධාරීන් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය පිළිබඳව පැහැදිලි පිළිතුරු අවශ්‍ය වී තිබේ.
පද්මලතා ජයරත්න මහත්මිය පවසන්නේ 2023 වසරේදී විදුලිය සහ ජල සම්බන්ධතා තම නමට මාරු කර ගැනීමට උත්සාහ කිරීමේදී මෙම ගැටලුව අනාවරණය වූ බවයි. ඉන් අනතුරුව මහවැලි නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කළද, තමන්ට සාධාරණ විසඳුමක් ලබාදීමකින් තොරව එකී ඉඩමේ අනුප්‍රාප්තිකත්වය නම්කර දී ඇය සතුටු කිරීමට උත්සාහ කර ඇති බවට ඇය චෝදනා කරයි.
ඒ අනුව, 2007දී නිකුත් කළ බව කියන 6/එව/අප්‍ර/3016 දරන ලේඛනය ඇතුළු සියලු අදාළ ලේඛන පිළිබඳ ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් පවත්වා, එම පවරාදීම නීතියට අනුකූලව සිදුවී තිබේද යන්න තහවුරු කරන ලෙස ඇය ඉල්ලා සිටී. නීති විරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්නම්, ඊට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඇය ඉල්ලා සිටී. මෙම සිද්දීය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය, මහවැලි අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතන වෙතද පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඇය සඳහන් කරයි.
ඉඩමක් යනු හුදෙක් ලේඛනයක සටහන් වන අංකයක් හෝ නමක් පමණක් නොවේ. එය පවුලක පරම්පරා ගණනාවක මතකයන්, ජීවිතය සහ අනාගතය සමඟ බැඳුණු වටිනාකමකි. එබැවින් එවැනි අයිතියක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ විට, බලය හෝ බලපෑම මත නොව, නීතිය, සාධාරණත්වය සහ සත්‍යය මත තීරණයක් ගැනීම වගකිවයුතු බලධාරීන්ගේ යුතුකමකි.
මෙම සිද්ධියේ සත්‍යය හෙළි කළ හැක්කේ සියලු ලේඛන සහ කරුණු විවෘතව පරීක්ෂා කිරීමෙන් පමණි. එම පරීක්ෂණයෙන් නීත්‍යානුකූල අයිතිය කා සතුද යන්න පැහැදිලි කර, යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීමත්, නීතිය උල්ලංඝනය කර ඇත්නම් වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් සිදුවිය යුතුය. අවසානයේ ජයගත යුත්තේ කිසිදු පාර්ශ්වයක පුද්ගලික බලය නොව, නීතියේ සාධාරණත්වයයි. පරීක්ෂණයකින් සත්‍යය හෙළිවී, නීත්‍යානුකූල අයිතිය නිසි අයුරින් තහවුරු වන තැනින් පමණක් මෙම ගැටලුවට සැබෑ සාධාරණ අවසානයක් උදා වනු ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ දන්නා පුද්ගලයෙකු මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
හම්බන්තොට අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා
හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය 0769692424
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
