පාස්කු ප්‍රහාර නඩුවේ විභාගය අවසන් – තීන්දුව සැප්තැම්බර් 22දා

2019 වසරේ පාස්කු ඉරුදින මෙරට කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ඊයේ (08) අවසන් කෙරිණි.

කොළඹ, මීගමුව සහ මඩකළපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පවරා ඇති නඩුව වසර තුනකට වැඩි කාලයක් විභාගයට ගෙන තිබේ.

නඩු විභාගය අවසන් කළ නවරත්න මාරසිංහ මහතා (සභාපති), සුජීව නිශ්ශංක මහතා සහ රාමානාදන් කන්නන් මහතාගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල, විත්තියේ ලිඛිත දේශන අද (09) පෙරවරු 12.00ට පෙර භාරදෙන ලෙස නියෝග කළේය.

නීතිඥ නියෝජනයක් නොමැති විත්තිකරුවන් විසින් ඔවුන්ගේ දේශන නඩු විභාගය අවසන් වූ ඊයේ දිනයේදීම අධිකරණයට භාර දී තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම 2023 ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ වූ අතර, 2026 අගෝස්තු 13 වැනිදා පැමිණිල්ලේ නඩුව අවසන් කරන අවස්ථාව වන විට දින 249ක් පුරා සාක්ෂි විමසීම සිදුකර තිබේ.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් 2,309 දෙනකු නම් කර තිබුණද, නඩු විභාගයේදී අධිකරණය හමුවට කැඳවා ඇත්තේ සාක්ෂිකරුවන් 547 දෙනකු පමණි.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

කෙසේ වෙතත්, 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මේ වන විට මියගොස් ඇති බැවින්, නඩුව විභාගයට ගෙන ඇත්තේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිවය.

2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් විදේශිකයන් ඇතුළු සිවිල් වැසියන් 224 දෙනකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 584 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23,270ක් ඉදිරිපත් කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

පැමිණිල්ලේ නඩුව අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි විමසීම සිදුකර තිබේ. විත්තිකරුවන් 24 දෙනා අතරින් නීතිඥ නියෝජනයක් නොමැති හය වැනි විත්තිකරු වන රිස්කාන් මහතා තමන් නිහඬව සිටින බව අධිකරණයට දැනුම් දී ඇත.

අනෙක් විත්තිකරුවන් 23 දෙනා විත්තිකූඩුවේ සිට ප්‍රකාශ ලබාදී තිබේ. පළමු විත්තිකරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනකු වෙනුවෙන් සාක්ෂිකරුවන් ද කැඳවා තිබේ.

නඩු විභාගය අතරතුර විත්තිකරුවන් හත් දෙනකු විසින් ලබාදී ඇති පාපොච්චාරණ ස්වේච්ඡාවෙන් ලබාදී තිබේද යන්න තීරණය කිරීම සඳහා ‘වොයර් ඩයර්’ සත්‍යතා පරීක්ෂණයක් ද පවත්වා තිබේ.

එහිදී පළමු, හතරවැනි, 11, 12, 15 සහ 18 වැනි විත්තිකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 16(1) වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඊට ඉහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරියකු හමුවේ ලබාදී ඇති ප්‍රකාශ ස්වේච්ඡාවෙන් ලබාදී ඇති බව සත්‍යතා පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

එමෙන්ම පස්වැනි සහ 11 වැනි විත්තිකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ගල්කිස්ස සහ මාවනැල්ල දිසා විනිසුරුවරුන් හමුවේ ලබාදී ඇති ප්‍රකාශ ද ස්වේච්ඡාවෙන් ලබාදී ඇති බව අධිකරණය නිගමනය කර තිබේ.

කෙසේ වෙතත්, අටවැනි විත්තිකරු වන මොහොමඩ් පිරවුස් විසින් ලබාදී ඇති ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබාදී නොමැති බව අධිකරණය තීරණය කර ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට නඩු 31ක් ගොනු කර ඇති අතර, එම සිද්ධියට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් රැසකට එරෙහිව නඩු පැවරීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා පෙරවරු 9.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මුලාශ්‍රය දිනමිණ

Social Sharing
නවතම පුවත්