දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමට එක්සත් ජාතීන්ගේ සහාය

දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහනට අවශ්‍ය සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන සම්බන්ධයෙන් මෙම හමුවේදී මූලික අවධානය යොමු වූ බවයි.

එමෙන්ම, ඉදිරියේදී ඇති විය හැකි එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා රජය සකස් කර ඇති සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම සඳහා රජය සතු සූදානම සහ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා දැනුවත් කර ඇත.

මෙම වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

Social Sharing
නවතම පුවත්