
හිමාල කඳුවැටියේ නේපාල–ටිබෙට් දේශසීමා ආශ්‍රිතව හදිසියේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය තහවුරු කර තිබේ.
2015 වසරේ නේපාලයට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් පසු එරට මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස මෙම ආපදා තත්ත්වය සැලකෙන අතර, අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන සෙවීම් හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.
අධික වර්ෂාවත් සමඟ ත්‍රිශූලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් ගඟ පිටාර ගැලීමත් සමඟ විශාල මඩ හා අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගංගා නිම්න ඔස්සේ ගලා ගොස් තිබේ. මේ හේතුවෙන් මාර්ග සහ වාහන රැසක් මඩ හා අපද්‍රව්‍යවලින් වැසී ගොස් ඇති අතර, ප්‍රදේශ රැසක ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ.
ත්‍රිශූලි ප්‍රදේශයේ උමඟක් තුළ සිරවී සිටි පුද්ගලයින් 450කට වැඩි පිරිසක් ඇතුළුව, ආපදාවට මැදි වූ සිය ගණනක් පුද්ගලයින් ආරක්ෂිතව මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.
අපද්‍රව්‍ය සහ මඩ හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති ගංගා නිම්න ආශ්‍රිත ප්‍රදේශවලට ජනතාව ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලිස් බාධක යොදා ඇති අතර, උතුරු නේපාලයේ තවත් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
නායයෑම් සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද, හෙලිකොප්ටර් යානා යොදාගනිමින් අතුරුදන් වූවන් සෙවීම, අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව මුදා ගැනීම සහ සහන ද්‍රව්‍ය බෙදාහැරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව නේපාල බලධාරීන් පවසයි.
