
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙම්මාතගම ප්‍රදේශයේ පිහිටි ජාතික පාසලක 12 වන වසරේ තාක්ෂණික අංශයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකට, තාක්ෂණික අංශයේ තොරතුරු තාක්ෂණ (IT) විෂය උගන්වන ගුරුවරියක විසින් පහර දුන් බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
සිද්ධිය 2026 ජූලි 14 දින සිදුව ඇති බවත්, එදින අදාළ ගුරුවරිය විසින් ගැහැණු සහ පිරිමි සිසුන්ගේ පන්ති කාමර දෙකම පිරිසිදු කරන ලෙස ශිෂ්‍යාවට උපදෙස් ලබාදී ඇති බවත් පැවසේ. ශිෂ්‍යාව ගැහැණු සිසුන්ගේ පන්ති කාමරය පිරිසිදු කර අවසන් කරන විට, පිරිමි සිසුන් තමන්ගේ පන්ති කාමරය පිරිසිදු කර අවසන් කර තිබූ බව සඳහන් වේ.
එම අවස්ථාවේදී ගුරුවරිය, “උඹට මම කිව්වේ පන්ති කාමර දෙකම පිරිසිදු කරන්න කියලා නේද?” යනුවෙන් ප්‍රශ්න කරමින් ශිෂ්‍යාවගේ හිසට තදින් අත මිට මොළවා පහරක් එල්ල කළ බවට පවුලේ සාමාජිකයින් චෝදනා කරති.
පහරදීමෙන් පසු ශිෂ්‍යාවට හිසරදය, කලන්ත ගතිය සහ දැඩි වේදනාවක් ඇති වූ බවත්, ඇය පන්ති කාමරය තුළ රැඳී සිටිමින් වෙනත් ගුරුවරයෙකුගේ දුරකථනය භාවිත කර සිය සහෝදරයාට සිද්ධිය දැනුම් දී ඇති බවත් සඳහන් වේ.
ඒ අනුව, මව සහ සහෝදරයා පාසලට පැමිණ ශිෂ්‍යාව රෝහලට රැගෙන යාම සඳහා විදුහල්පතිවරයාගේ අවසර ඉල්ලා ඇත. එහෙත්, පවුලේ චෝදනාව වන්නේ විදුහල්පතිවරයා එම ඉල්ලීමට එකඟ නොවී,
“ඔයාලා කොහොමද එහෙම කරන්නේ? මමයි මේකේ විදුහල්පති. මට ඕන වෙලාවට මම යවන්නේ. රෝහලට ගෙනියන්න ඕනේ නම් මම ගෙනියන්නම්.”
යනුවෙන් ප්‍රකාශ කරමින් ශිෂ්‍යාව පැයකට අධික කාලයක් කාර්යාලයේ රඳවා තබාගෙන, සිද්ධියට සෘජුව සම්බන්ධ නොවූ ගුරුවරුන් දෙදෙනෙකු කැඳවා විමර්ශනයක් සිදු කළ බවයි.
පසුව මව සහ සහෝදරයා විසින් ශිෂ්‍යාව හෙම්මාතගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි වෛද්‍යවරයා විසින් ඇයගේ හිසේ ඉදිමීමක් පවතින බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බව පවුලේ සාමාජිකයින් පවසයි.
තවද ඔවුන් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, එය සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි. එසේම, සිද්ධිය ඇසින් දුටු සිසුන්ගේ ප්‍රකාශ වෙනස් කර ලියා අත්සන් ලබා ගැනීමට උත්සාහ කළ බවටද චෝදනා එල්ල කර ඇත.
මෙම සිද්ධිය හේතුවෙන් ඉතා දක්ෂ ශිෂ්‍යාවකගේ අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පවුලේ සාමාජිකයින් පෙන්වා දෙයි.
එබැවින්, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයක් සිදු කර, සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමත්, වරදක් සිදුව ඇත්නම් නීතිය අනුව වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමත් සිදු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
