
කහටගස්දිගිලිය රන්පත්විල මාර්ගයේ සිට රොටපොකුණ ග්රාමයට සම්බන්ධ වන මාර්ගයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් අතරතුර තමන්ට පහරදීමක් සිදුවූ බවට ටී. අමරතුංග මහතා කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ මාර්ගයේ සංවර්ධන කටයුතු අතරමග නතර වී තිබූ අතර, පසුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්මික නිලධාරීන්ගේ සැලසුම් මත ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව නැවත වැඩ ආරම්භ කර තිබූ බව පැවසේ.
කෙසේ වෙතත්, මාර්ගයේ සැලසුම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් කුඹුරු හිමියෙකු වන කුමාරදාස මහතා විරෝධය පළ කිරීමත් සමඟ තාවකාලිකව වැඩ නතර වී ඇති බවත්, පසුව පැවති අධික වර්ෂාව හේතුවෙන් ද කටයුතු නැවත ආරම්භ කිරීමට නොහැකි වූ බවත් අමරතුංග මහතා පවසයි.
පසුව තුලාන භාර සංවර්ධන නිලධාරියාගේ උපදෙස් මත මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ කළද, එම කටයුතු සම්බන්ධයෙන් නැවත විරෝධතා මතුවූ බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අමරතුංග මහතා ප්රාදේශීය ලේකම්වරයා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව, එම පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධය පළ කළ බව කියන සංවර්ධන නිලධාරියෙකු විසින් තමන්ට පහර දුන් බවට අමරතුංග මහතා චෝදනා කරයි.
පහරදීම හේතුවෙන් තමන් රෝහල්ගතව ප්රතිකාර ලබාගත් බවද ඔහු පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනය 2026 සැප්තැම්බර් 26 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ බවත්, එදින පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දී තිබූ බවත් අමරතුංග මහතා සඳහන් කරයි.
