පොලීසියත් නොදැන සිටි කොළ පැහැති අංක තහඩු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි කරන සියලුම පූර්ණ විද්‍යුත් (EV) වාහන සඳහා ඉදිරියේදී කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව, මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, කාර් සහ SUV ඇතුළු සියලුම පූර්ණ විද්‍යුත් වාහන සඳහා ඉදිරිපස සහ පසුපස කොළ පැහැති පසුබිමකින් යුත් අංක තහඩු නිකුත් කෙරෙන බව ඔහු සඳහන් කරයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් ගත් තීරණයකට අනුව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

කෙසේ වෙතත්, සාමාන්‍ය ඉන්ධන වාහන සඳහා අංක තහඩුවල පවතින වර්ණ ක්‍රමයේ වෙනසක් සිදු නොවන අතර, ඉදිරිපස සුදු සහ පසුපස කහ පැහැති අංක තහඩු තවදුරටත් භාවිත කෙරේ.

නව ක්‍රමවේදය හේතුවෙන් මේ වන විට මතුව ඇති ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ කොළ පැහැති EV අංක තහඩු සම්බන්ධයෙන් මාර්ගයේදී ඇතැම් පොලිස් නිලධාරීන් අතර පවතින දැනුවත්භාවයේ අඩුවීමයි.

විද්‍යුත් වාහනයකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ කොළ පැහැති අංක තහඩුවක් සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසියේ නිලධාරීන් සහ වාහන හිමිකරුවෙකු අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ බව දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙව්ම් රණසිංහ මහතා විසින් සැප්තැම්බර් 5 වැනිදා පළ කළ එම වීඩියෝවෙන් දැක්වුණේ, තම වාහනයේ කොළ පැහැති අංක තහඩුව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළ බවයි.

තම වාහනයේ ලියාපදිංචි ලේඛන සහ රියැදුරු බලපත්‍රය ඇතුළු ලේඛන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්, එවැනි කොළ පැහැති අංක තහඩුවක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව පවසා ඇති බව ඔහු සඳහන් කර තිබිණි.

පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමන්ට ලැබුණු අංක තහඩුව ලබාගැනීම සම්බන්ධ කෙටි පණිවිඩය පෙන්වීමෙන් අනතුරුව තමන්ට පිටත්ව යාමට අවසර ලබාදුන් බවද ඔහු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, EV වාහන සඳහා කොළ පැහැති අංක තහඩු නිකුත් කරන බවට පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර නිල වශයෙන් දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සිද්ධියෙන් අනතුරුව පොලිස්පතිවරයා අමතා නව ක්‍රමවේදය පිළිබඳව පොලිස් නිලධාරීන් තවදුරටත් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතාද EV වාහන සඳහා කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත.

ගැසට් පත්‍රය සම්බන්ධයෙන් තවමත් ක්‍රියාවලිය සිදුවෙමින්

කෙසේ වෙතත්, කොළ පැහැති EV අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධ ගැසට් පත්‍රය පිළිබඳවද අවධානය යොමුව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ අදාළ ගැසට් පත්‍රය සම්බන්ධ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බවත්, එය ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාවලියට යොමු කිරීමට නියමිත බවත්ය.

ඒ අනුව, නව අංක තහඩු ක්‍රමවේදය හඳුන්වාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් ඇතුළු සියලු අදාළ පාර්ශ්ව ඒ පිළිබඳව පැහැදිලිව දැනුවත් කිරීමද අත්‍යවශ්‍ය කරුණක් බව මෙම සිද්ධියෙන් පෙනී යයි.

විශේෂයෙන්ම, නිල වශයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නව කොළ පැහැති අංක තහඩුවක් භාවිත කරන වාහන හිමියන්ට මාර්ගයේදී අනවශ්‍ය ගැටලු ඇති නොවන පරිදි, නව ක්‍රමවේදය පිළිබඳව පොලිස් නිලධාරීන්ට නිසි මාර්ගෝපදේශ සහ දැනුවත් කිරීම ලබාදීම වැදගත් වේ.

අනෙක් අතට, අංක තහඩුවේ වර්ණය පමණක් පදනම් කරගෙන වාහනයේ නීත්‍යනුකූලභාවය තීරණය කිරීම වෙනුවට, වාහනයේ ආදායම් බලපත්‍රය සහ අනෙකුත් නිල ලේඛන පරීක්ෂා කිරීමෙන් එය EV වාහනයක්ද යන්න තහවුරු කරගත හැකි බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

Social Sharing
නවතම පුවත්