IMF කණ්ඩායමක් එළැඹෙන සතියේ දිවයිනට!

IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් එළැඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියු (Evan Papageorgiou) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණෙන මෙම නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වන්නේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමයි. මීට අමතරව, මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය සහ ඉදිරි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇගයීමට ලක්කෙරෙන ‘2026 IV වන වගන්තිය යටතේ වන ද්විවාර්ෂික උපදේශනය’ (2026 Article IV Consultation) ද මෙම සංචාරය අතරතුරදී සිදුකිරීමට සැලසුම් කර ඇත.

සති දෙකක කාලයක් පුරා පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ මෑතකාලීන සාර්ව ආර්ථික වර්ධනයන්, දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය මුදල්, බදු සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙන්ම දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. එමෙන්ම, ආර්ථික ගමන්මඟ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය උපදෙස් සහ තාක්ෂණික සහාය ලබාදීමටත්, දේශීය ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකි උපායමාර්ගික ක්ෂේත්‍ර කෙරෙහි බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් IMF නියෝජිතයෝ අපේක්ෂා කරති. මෙම නිල සාකච්ඡා වට අවසානයේදී සිය නිරීක්ෂණ සහ ප්‍රගති සමාලෝචන වාර්තාව නිකුත් කිරීමට නියෝජිත පිරිස පියවර ගනු ඇත.

Social Sharing
නවතම පුවත්