
ඇමෙරිකාවේ ප්‍රකට තීරු ලිපි ලේඛිකාවක වන ජේන් කැරොල්ට ලිංගික අතවර කිරීම සහ අපහාස කිරීම සම්බන්ධයෙන් සිවිල් ජූරි සභාවක් විසින් ලබාදුන් තීන්දුව නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කර තිබේ.
එමෙන්ම කැරොල්ට ඩොලර් මිලියන 83.3ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කර ඇති අපහාස නඩු තීන්දුව ද නිෂ්ප්‍රභ කරන ලෙස ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබූ බව වාර්තා වේ.
1990 දශකයේ මැද භාගයේදී මෑන්හැටන්හි සාප්පු සංකීර්ණයක ඇඳුම් මාරු කරන කුටියක් තුළදී ට්‍රම්ප් තමන්ට ලිංගික අතවර කළ බවට ජේන් කැරොල් චෝදනා කර තිබිණි. පසුව එම සිදුවීම ප්‍රබන්ධයක් බව පවසමින් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට අපහාස කළ බවටද ඇය චෝදනා කළාය.
ඒ සම්බන්ධයෙන් කැරොල් විසින් 2019 සහ 2022 වසරවලදී සිවිල් නඩු දෙකක් ගොනු කර තිබූ අතර, එහිදී ඇය ඩොලර් මිලියන 88.3ක වන්දියක් ඉල්ලා තිබිණි.
නඩු කටයුතු අතරතුරදී ට්‍රම්ප් විසින් කැරොල් වෙත ඩොලර් මිලියන 5.6ක මුදලක් ගෙවා තිබුණද, නඩුව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඇගේ නීතිඥ කණ්ඩායම කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට 82 හැවිරිදි වියේ පසුවන ජේන් කැරොල්, දීර්ඝ කාලයක් පුරා තීරු ලිපි රචිකාවක ලෙස කටයුතු කර ඇති අතර, ට්‍රම්ප්ට එරෙහිව ගෙන ගිය මෙම නඩු හේතුවෙන් ඇය අමෙරිකානු මාධ්‍යයේ දැඩි අවධානයට ලක්ව සිටී.
